Language Switcher

V2025

වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම : කරූට චෝදනාවක් !

නීතිපති ඉල්ලීමට වසන් වී බැඳුම්කර වංචා පිළිබඳව මිලියන 900ක් වැය කර සැකසූ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම, කතානායක විසින් වගවීම, විවෘතභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය  ඉතා කෲර ලෙස හා ලජ්ජාවක් නැතිව මකා දැමීමක් බව ප්‍රවීන දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි.

සිය FB පිටුවේ සටහනක් පළකරමින් ඔහු එබව සඳහන් කර තිබේ. එම සටහනේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

''නීතිපති ඉල්ලීමට වසන් වෙලා බැඳුම්කර වංචා පිළිබඳව  මිලියන 900ක් වැය කර සැකසූ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම, කතානායක විසින් වගවීම, විවෘතභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය  ඉතා කෲර ලෙස හා ලජ්ජාවක් නැතිව මකා දැමීමක්.

දැනට කණින් කොනින් කතාවන තොරතුරුවලට අනුව පක්ෂ භේදයකින් තොරව, පසුගිය ආණ්ඩු හැමකක්ම ජනතාවගේ මුදල් කෝටි ගාණක් සොරකම් කරලා, අවභාවිතාවේ යොදවලා.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් දස ලක්ෂ ගණන් බරපතල ලෙස අවභාවිතා කරලා කියා දැන් කාලයක සිට කියන කතාවක්. ඒ මුදල් මහ බැංකුවට අයිති මුදල් නෙවෙයි. ඒ මුදල් අයිති පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් මිලියන 2.3ට.

කතානායකට තියෙන සදාචාරමය අයිතිය කුමක්ද?

බැඳුම්කර මුදල් කියන්නෙත් මහජන මුදල්. ඒවා ගැන සොයන්න වියදම් කළ මිලියන 900ත් ජනතාවගේ මුදල්. තමන්ගේ මුදල් වලට සිදුවුනේ කුමක්දැයි සොයන්න නැවත ජනතාවගේම මුදලින් මිලියන 900ක් වියදම් කෙරුවට පස්සේ, කතානායකට තියෙන සදාචාරමය අයිතිය කුමක්ද ඒ වාර්තාව ජනතාවට නොදී සේප්පුවක යතුරු දාලා තියා ගන්න?

ජනතාවට එළිපිට අගතියක් අසාධාරණයක් කෙරෙන ඉල්ලීම්, උපදෙස් පමණක් නෙවෙයි, තීන්දු නියෝග බාර ගැනීමට හෝ පිළිපදින්න, කතානායකවත් පාර්ලිමේන්තුවවත් බැඳී නැහැ.

එනිසා මේ කතානායකත් වංචා දූෂණ වලට හවුල්වීමක්. එහෙම නැත්නම් ඔහු වහාම ඒ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි. එය සාකච්ඡා කිරීමේ අයිතිය තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නෙවෙයි. පළාත් සභා, වෘත්තිකයින්ගේ සංවිධාන, වෘත්තීය සමිති ඇතුලු ජනතාවටත් අයිතියක් තියෙනවා ඒ වාර්තාව කියවන්න, සාකච්ඡා කරන්න.''

ජනතාවගේ බදු සල්ලි මිලියන 900ක් වියදම් කරලා හදපු වාර්තාවක් !

බැඳුම්කර නිකුතුවට ආදාළව ශ්‍රී ලංකා මහ බැංකුව සකස්කළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි පසුගිය 03 වැනිදා ඉදිරිපත්වූ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයා සිය මතය ජනවාරි  06දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, ඒ ගැන නීති කෘත්‍යයන් ආරම්භ වී ඇති බැවින් සියලු මන්ත්‍රීවරුන්ට එම වාර්තාව ලබා දීම නුසුදුසු යයි නීතිපතිවරයා තමන්ට ලිඛිතව දැනුම් දී ඇති බවකි.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙහිදී දැඩිලෙස කියා සිටියේ, නීතිපතිවරයාගේ උපදෙස් හැමවිටම පිළිපැදීමට පාර්ලිමේන්තුව බැදී නොමැති බැවින් නීතිපති උපදෙස් නොතකා අදාළ වාර්තාව එළිදැක්විය යුතු බවය.

''ජනතාවගේ බදු සල්ලි මිලියන 900ක් වියදම් කරලා මේ වාර්තාව හැදුවේ. බැඳුම්කර සිද්ධිය ගැන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා, කෝප් කාරක සභාවේ වාර්තාවේ වාර්තා එළි දක්වලා තියෙනවා. මේ ගැන උසාවි සාක්ෂි සටහන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. වාර්තාව දැකල තියෙන්නේ හදපු අය විතරයි නම් චෝදනා ලබපු අය කොහොමද මේ වාර්තාව ප්‍රතික්ෂේප කරලා කතා කරන්නේ. මේක දෙපැත්තේම හොරු රැකීමක්. නීතිපති දෙපාර්තමේන්තුවට මේ පාර්ලිමේන්තුව යට කරන්න එපා,'' යනුවෙන් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

''මේක පුළුවන් තරම් ඉක්මනට එළිදක්වන්න මටත් අවශ්‍යයි. විනිවිද බව රකින්න," යන්න එහිදී කතානායකවරයාගේ ප්‍රතිචාරය විණි.