Language Switcher

V2025

ගෝඨා ස ගේ අලුත්ම වැඩේ මෙන්න : විදෙස් විශ්වවිද්‍යාල ලංකාවට !

විදෙස් විශ්වවිද්‍යාල මෙරට තුල ස්ථාපිත කිරීමට නව රජය කටයුතු කරන බව තොරතුරු -සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අසර්බයිජානයේ, බාකු අගනුවර කැස්පියන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා එබව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ තිබූ මාධ්‍ය සාකච්ජාවකදී ය.

ලංකාවේ විශ්ව විද්‍යාල තුළ ප්‍රමාණවත් පහසුකම් නැතිකමින් විශ්වවිද්‍යාලවලට අතුළත්වීමේ සුදුසුකම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනකට මහත් අසරණභාවයක් ඇති අතර මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල පහසුකම් ඇත්තේ විද්‍යාර්ථීන් 30,000කට අධ්‍යයන පහසුකම් සැලසීමට පමණි.

මේ තත්වය තුළ පෞද්ගලික වියදමින් විදේශගතව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පෙළඹෙන්නේ ධනවත් මව්පියන්ගේ දරුවන් නොව, ණයවී හෝ දේපළ උගස්කර උසස් අධ්‍යාපනය ලබන්නට තැත්කරන දරුවන් බව උසස් අධ්‍යාපන ඇමතිවරයා පවසයි.

එහෙත්, ඇතැම් විදෙස් ආයතන මගින් මෙරට දරුවන්ට ලබාදෙන පහසුකම් සහ ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය හැකි නොහැකි බැවින් එවැනි ආයතනවල ශාඛා මෙරට පිහිටුවා මෙරට අධ්‍යාපන පිපාසයෙන් පෙළෙන දරුවන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට සහනයක් සලසන බව උසස් අධ්‍යාපන ඇමතිවරයා කියා සිටියේය.

එහිදී ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, විදෙස් සරසවි මෙරට ස්ථාපිත කිරීම තුල විදෙස් අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව පිටරටට ඇදීයන මුදල විශාල ප්‍රමාණයකින් රටට ඉතිරිකර ගැනීමේ අවස්ථාවද උදාවන බවයි.

 Asarbijan

ජනපති හමුවේ ඇති අභියෝගය හා ලී ක්වාන් යූ ආදර්ශය !

විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම ඉහළ දැමීම සඳහා අලුතින් විශ්වවිද්‍යාල විදුහල් 300ක් ආරම්භ කරන බව ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ජනතාවට පොරොන්දුවක් ලබාදී ඇතත්, පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙය සත්‍ය ලෙසම ඉතාමත් භාරදූර කාර්යයක් වී තිබේ. ඒ, මේවනවිට ඒ සඳහා රජයට මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීමයි.

මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටියදී සිංගප්පූරුව ආසියාවේ ප්‍රබලතම දියුණු රටක් බවට පත්කල එරට හිටපු අගමැති ලී ක්වාන් යූ ආදර්ශයට ගතයුතු බව මෙරට ඇතැම් ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි. 

තමන්ගේ රට වෙනුවෙන් මහත් විශාල මෙහෙවරක් ඉටුකළ නායකයෙකු වූ අගමැති ලී ක්වාන් යූ, එකල සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලවලට බලකර සිටියේ විදෙස්හි ප්‍රකට විශ්වවිද්‍යාල සමඟ එකට එක්ව තම රටට තාක්ෂණය අනුගත කර ගන්නා ලෙසය.

මේ අනුව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය මහත් මෙහෙවරක් ඉටුකළ අතර, එම විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල අතරින් 22 වැනි තැනට පත්විය. ලෝකයේ රටවල් අතරින් සිංගප්පූරුව කෙටි කලකින් ඉතාමත් ඉහළ ආර්ථික ප්‍රගතියක් ලබාගත් රටක් විය.