ලංකාදීප මාධ්‍යවේදිනියට පාතාල තර්ජනයක් : පොලීසිය නිහඬයැයි පැමිණිල්ලක් !

ලංකාදීප මාධ්‍යවේදිනියට පාතාල තර්ජනයක් : පොලීසිය නිහඬයැයි පැමිණිල්ලක් !

අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගෙන් එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේදී තමා අපහාසයට හා අපහසුතාවයට ලක්වන අයුරින් හැසිරෙමින් එම පැමිණිල්ල බාරගැනීම ප්‍රතික්ෂේප කළේ යැයි කියමින් එම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව ‘ලංකාදීප’ අධිකරණ මාධ්‍යවේදිනී නිමන්ති රණසිංහ මහත්මිය නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අද(13) පැමිණිල්ලක් කර ඇත.

සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කර ගැනීමේ ඒකකයෙන් දුන් උපදෙස් අනුව පසුගිය 10 වැනිදා තමා මෙම පැමිණිල්ල කිරීමට ගියේ යැයි ද එහිදී පැමිණිල්ල කිරීමට අදාළ තොරතුරුවල මූලාශ්‍ර හා අංගොඩ ලොක්කාට විරුද්ධව පැමිණිල්ලක් දාන්නේ කෙසේදැයි අසමින් තමා දැඩි සේ අසරණ වන ආකාරයට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවගමුව මහතා මෙසේ හැසිරුණේ යැයි රණසිංහ මහත්මිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

පොලිස් ස්ථානාධිපතිවරයා තම පැමිණිල්ල ගැන කරුණු විමසනු වෙනුවට මුල්ලේරියාව ප්‍රදේශයේදී පාතාල සාමාජිකයින් විසින් පහරදි අත් පා කඩා දමන ලද කාන්තාවකට තමාව උපමා කළේ යැයි ද මීට මාස දහයකට පෙර සිදුවූ එම සිද්ධිය සම්බන්ධයෙන් ද මුල්ලේරියාව පොලිසිය මේ වන තෙක් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැතැයි ද රණසිංහ මහත්මිය තම පැමිණිල්ලෙන් අවධාරණය කර ඇත.

මුල්ලේරියාව පොලිස් ස්ථානයට පැමිණ එහි නිලධාරින් අල්ලස් ගන්නා බවට චෝදනා කළ කාන්තාවක් ගැන එහි වෙනත් පොලිස් නිලධාරිනියක පැමිණ පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් අවස්ථාවේ අදාළ කාන්තාව වීඩියෝ කර කූඩුවට නොදැම්මේ ඇයිදැයි පොලිස් ස්ථානාධිපතිවරයා විමසුවේ යැයි ද අනතුරුව ඔහු අසැබි වදන් පවසමින් තමා අපහසුතාවයට පත්වන අයුරින් දිගටම හැසිරුණේ යැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ. 

තමා මුහුණ පා ඇති ජීවිත තර්ජනය ගැන සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කර ගැනීමේ ඒකකයෙන් ෆැක්ස් පණිවුඩයක් මගින් ඒ වනවිටත් මුල්ලේරියාව පොලිසිය දැනුවත් කර තිබූ නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා ඒ ගැන තමාගෙන් එකදු වචනයක් හෝ නොවිමසා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත අනුව තම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියට පියවරක් ගැනීමට ඇති අපහසුව ගැනම අවධාරණය කළේ යැයි ද එහි සඳහන් වේ.

ජිවිතය පිළිබඳ අනියත බියකින් තමා ජීවත් වන පොලිස් වසමේ පිහිටි පොලිස් ස්ථානයට පැමිණි කළ ගම් වාසීන්ට පිහිටක් නොමැති නම් එය බරපතල තත්ත්වයක් බැවින් මේ සම්බන්ධයෙන් සොයා බලන්නැයි මාධ්‍යවේදිනී නිමන්ති රණසිංහ මහත්මිය නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් තම පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත. 

(බිඟුන් මේනක ගමගේ )

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න