Language Switcher

V2025

ඇමති ඩග්ලස් ! ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව නීති නිලධාරිනියගේ බූදලයක්ද ?

නයනා කුමාරි කරුණාරත්න නම් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නීති නිළධාරිනිය ප්‍රසිද්ධියේ රාජ්‍ය දේපල අවභාවිතය හා මුදල් වංචා වල යෙදී සිටියද, බලධාරීන් මුනිවත රකිමින් සිටීම විමතිය දනවන කරුණක් බවට සේවක පිරිස් චෝදනා කරති.

විවිධ අවස්ථාවලදී නීති විරෝධී ආකාරයට මූල්‍ය අවභාවිතා කිරීම් ඇය විසින් සිදුකර ඇති ආකාරය සාක්ෂි සහිතව තහවුරුව ඇති නමුත් යහපාලන ආණ්ඩු සමයේ සිදුකල දුෂණ අවසන් කරමින් කියා පැමිණි වත්මන් පාලනය යටතේද මැය කිසිඳු පරීක්ෂණයකින් තොරව රාජකාරි කරමින් සිටින බවත් ඔවුන් පවසයි.
 
මේ සම්බන්ධව සිදුකළ පැමිණිලි වලට අදාළ විමර්ශන පැවති ආණ්ඩුව සමයේද සිදුකෙරුණු නමුත් එහි අවසානයක් දක්නට නොලැබුණු බවත් එබැවින් නීති නිලධාරිනියගේ සිට ආයතනයේ දුෂිතයන්ට එරෙහිව කටයුතු කිරීම නව විෂය භාර අමාත්‍යවරයා වෙතින් හෝ අපේක්ෂා කරන බවත් නැතිනම් ආයතනය මුල්‍ය බංකොලොත්භාවයට ලක්ව විනාශ මුඛයට යාම වලක්වා ගැනීමට නොහැකිවනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
 
ආයතනයේ උන්නතිය වෙනුවෙන් මේ දුෂණ හෙළිකරන සේවක පිරිස් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නීති නිලධාරිනිය වෙත එල්ල කරන එක් චෝදනාවක් වන්නේ සංස්ථාවේ නඩු සඳහා නියමිත පටිපාටියෙන් බැහැරව පෞද්ගලික  නීතිඥයන්  යොදාගැනීම සහ ඒ තුළ සැකකටයුතු ගනුදෙනු සිදුකර තිබීමය.
 
එකම නඩුව, එකම නීතිඥයා , එකම දිනය : නමුත් ගෙවීම් දෙකක් !
 
ඊට එක් නිදර්ශනයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අදාළ DMR 2017/11 නඩුවට අදාළව 2018-06-04 දින නඩු වාරය සඳහා පෙනී සිටීම වෙනුවෙන් එම දිනය සඳහා එකම නීතිඥවරයාට අවස්ථා දෙකක මුදල් ගෙවීමට වව්චර් ඉදිරිපත් කර තිබීමය. ඒ සඳහා ඉල්ලුම් කර ඇති මුදල රුපියල් 15,000ක් වන අතර අවස්ථා දෙකකදී ඉදිරිපත් කල වව්චර හරහා රුපියල් 30,000ක මුදලක් ලබා ගන්නට කටයුතු කර ඇත.
 
මේ සම්බන්ධව  ජාතික විගණක කාර්යාලය සිදුකර ඇති විගණනය තුළද නිරීක්ෂණය වී ඇති අතර එකී වාර්තාව පහත දැක්වෙයි.
 
d001
d011
 
මෙහි එකම දිනයක එකම නීතිඥවරයාට අවස්ථා දෙකකදී මුදල් ගෙවීමට කටයුතු කිරීම සම්බන්ධව පමණක් නොව තවත් වැදගත් විගණන නිරීක්ෂණයක්ද වෙයි. ඒ අදාළ මුදල් ලබාගත් බව කියන නීතිඥයාගේ අත්සනේ ඇති පරස්පරතාවයයි. ඒ විගණන නිරීක්ෂණය ඉහත රතු පැහැයෙන් සලකුණු කර ඇත.
 
තවද  මෙම ගෙවීම් සැකසහිත බැවින් ඒ සම්බන්ධව සංස්ථාවේ මූල්‍ය කළමනාකරු විසින් සාමාන්‍යාධිකාරවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඊට අදාළ ලිඛිත සාක්ෂියත් පහත දැක්වේ. එම ලිපියෙහි ඉතා පැහැදිළිව දක්වා ඇත්තේ DMR 2017/11 නඩුවට අදාළ නීතිඥ ගාස්තුව ලෙස මුදල් අංශය විසින් ගිණුම් අංක 1446 හරහා චෙක්පත් අංක 236335 හරහා ගෙවා ඇති නමුත් මේ සඳහා යලිත් මුදල් ලබාගැනීම සඳහා වව්චර් පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවය.
 
d004
 
මූලික විමර්ශන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව පටන් ගත්තා !
 
එපමණක් නොව ආයතනයේ නීති නිලධාරිනිය සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ලෙස කටයුතු කරන නයනා කුමාරි කරුණාරත්න තම රාජකාරියට අදාළ නිතමිත  වැටුපට අමතරව තවත් රුපියල් 10,000ක මුදලක් අතිරේකව ලබාගෙන තිබේ. මේ සම්බන්ධව සේවක සංගම් විසින් පොදුවේ පාලනාධිකාරිය මෙන්ම මුදල් අමාත්‍යංශය වෙතත් පැමිණිලි කර ඇත. ඒ අනුව එවකට මුදල් අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය ව්‍යාපාර අංශය වෙත යොමුකර එහිද විමර්ශනයක් දියත්කර ඇත.
 
ඒ බව තහවුරු කරන්නේ ස්වාධීන සේවක සංගමය, ජාතික සේවක සංගමය, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය සහ සමස්ථ ලංකා පොදු සේවක සංගමය යන වෘත්තීය සමිති සිදුකල පැමිණිල්ල පදනම් කරගෙන  රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජේ.එම් . තිලකා ජයසුන්දර විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය වෙතින් සිදුකර ඇති ලිඛිත විමසීමයි. 
 
එහිදී අදාළ ගෙවීම් සිදුකරන අනුමැතිය කුමක්ද ? ඒ සඳහා භාණ්ඩාගාරයේ විශේෂ අනුමැතිය ලබාගෙන තිබේද ? දීමනා කොපමණ කාලයක සිට ගෙවනු ලබන්නේද යන්න රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජේ.එම් . තිලකා ජයසුන්දර විසින් ලංකා වරාය නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය වෙතින් විමසා ඇත. එසේම එහි පිටපත් එවකට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, විගණකාධිපති, අතිරේක ලේකම් මුදල් අමාත්‍යංශය යන ආයතන වෙතද යොමුකර ඇත.
 
ඒ සම්බන්ධ ලිපිය පහත දැක්වෙන අතර මෙකී විමර්ශනය ඇරඹීම සම්බන්ධව වෘත්තීය සමිති දැනුවත් කිරීමට අදාළව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් එම පාර්ශවයන්ට යොමුකළ ලිපියත් පහත දැක්වෙයි.
 
d005
 
d006 
 
විදෙස් පුහුණුවට නොගියත් මුදල් අරගෙන !
 
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නීති නිලධාරිනියට අදාළ චෝදනා එයින් අවසන් වන්නේ නැත. මෙහිදී සේවක පිරිස් ඇයගේ තවත් දූෂිත යැයි කියන ක්‍රියාවක් සම්බන්ධව තොරතුරු අනාවරණය කරයි. ඒ විදෙස් පුහුණුවක් සඳහා යන බව සඳහන් කරමින් රුපියල් 130,000ක මුදලක් ලබාගෙන එකී පුහුණුව සඳහා නොගිහින් සිටීමයි. අදාළ පුහුණුව සඳහා යාම ආයතනික අවශ්‍යතාවක් ලෙස දක්වා පාලනාධිකාරිය වෙතින් මුදල් ලබාගැනීමට අනුමැතිය ලබාගැනීම ගැන ගැටළුවක් නැත. නමුත් ගැටලුව ඇත්තේ එකී මුදල ලබාගෙන ඒ සඳහා සහභාගී නොවීමය. රාජ්‍ය ආයතන වල සේවක පිරිස් මෙකී පහසුකම් භුක්ති විඳින්නේ මෙරට මහජන බදු මුදලින් බැවින් එම පුහුණුව සඳහා යාමට නොහැකි නම් එකී මුදල් නැවත අදාළ ආයතනයට ලබාදිය යුතුව තිබිණ. 
 
එහිදී දහසකුත් එකක් හේතු දැක්විය හැකි නමුත් රාජ්‍ය යාන්ත්‍රණයේ හැටියට මිස ඒ ඒ අයගේ හේතු දැක්වීම් මත ඕන අයෙකුට ආයතනික මුදල් විදෙස් පුහුණුවට කියා ඊට සහභාගී නොවී තමන් සන්තකයේ තබාගත හැකි නම් ලංකාවේ රාජ්‍ය ආයතන පද්ධතියට දෙයියන්ගේම පිහිටය. අනෙක් අතට පුහුණුවට සහභාගීවීමට මුදල් ලබාගත් පාර්ශවය එකී පුහුණුව නොලැබීම ආයතනයටද පාඩුවක් වන අතර, මුදල් ලබාගෙන පුහුණුවට නොයාම තුල තවත් අයෙකුට ඒ පහසුකම ලැබීමේ අවස්ථාවද අහිමි කිරීමක් ඒ තුල සිදුවෙයි.
 
මේ මුදල් ලබාගත් වව්චරයද පහත දක්වා ඇත.
 
d007
 
මීට අමතරව තමන්ට නිකුත්කර නොමැති ආයතනික වාහන භාවිතය සම්බන්ධව චෝදනා කිහිපයක්ද දූෂණ විරෝධී සේවක පිරිස් සඳහන් කරන නමුත් අප ඒ ගැන දැනට ලියන්නේ නැත. කෙසේ නමුත් රාජ්‍ය ආයතන තුළ තමන්ට නීතියෙන් හිමිදේට අමතරව දූෂිත ලෙස රාජ්‍ය දේපල අවභාවිත කිරීමක් සිදුව ඇත්නම් ඒ වරදක් බව අමුතුවෙන් කිවයුතු නැත. සේවක පිරිස් වත්මන් ආණ්ඩුවට චෝදනා නගන්නේද ඒ ගැනය. ඔවුන් කියන්නේ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය දේපල අවභාවිතය වක්කඩවල් පමණක් නොව  විහිද ඇති කක්කුටු බෙණත් වාසිය යුතු බවය. නැතිනම් වක්කඩ හරියට වසා තිබියදී කක්කුටු බෙණ නිසා හරියට ජලය බැඳ ගන්නට අසමත්වූ කුඹුරකට වෙන දේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අත්විය හැකි බවය. 
 
එසේම මේ වන විටත් දූෂණ විරෝධී ප්‍රතිපත්තිය හේතුවෙන් විවිධ සේවකයන් පීඩාවට පත්කිරීම් සහ ආයතනයේ කටයුතු වලට බාධා කිරීම් සම්බන්ධවද කරුණු රැසක් අප වෙත වාර්තා වී ඇත. ඒ සියල්ල මෙහි ලිවීම හෝ ඒ තුළ කිසිවෙකුත් ද්වේශසහගත ලෙස හෙළාදැකීම, පීඩාවට පත්කිරීම අපේ අරමුණ නොවේය. අප මේ අනාවරණයද සිදුකළේ වැරදි නිවැරදි කිරීමත් රාජ්‍ය ආයතන හොර ගුහාවීම වළක්වා සැබෑ සේවයක් බදු ගෙවන ජනතාවට ලබාදීමටය.
 
එබැවින් මේ සටහන ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ අවධානය පිණිසය !