Language Switcher

V2025

රත්නපුර ශික්ෂණ රෝහලට මහාචාර්ය ඒකකයක්

රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට‌ පත් කර ඇති බැවින් සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමට කඩිනමින් මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරිමට රජය තීරණය කර ඇති බවත් රුපියල් ලක්ෂ 7000 ක පමණ මුදලක් වියදම් කර ගොඩනැගිලි ඇතුලු භෞතික සම්පත් සංවර්ධනයට රජය තීරණය කර ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යතුමිය  පැවසීය.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය මෙම අදහස් පල කරන ලද්දේ ඊයේ (19) රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධන අවශ්‍යතාවයන් සහ පහසුකම් සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

සබරගමුව පළාතේ 1877 වසරේ ආරම්භ කරන ලද රත්නපුර ශික්ෂණ රෝහල ඇදන් 1400 කින් යුක්තය. එම රෝහලෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය වන 1,171,000 කට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය වන 887,000 ක ජනතාවකට ‌සෞඛ්‍ය සේවා සපයනු ලබයි.

මෙම නිරික්ෂණ චාරිකාවේ දී රත්නපුර ශික්ෂණ රෝහල සදහා රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුතු වෛද්‍ය උපකරණ ලබාදීම සෞඛ්‍ය අමාත්‍යතුමිය අතින් සිදු විය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය -

“සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් මගේ දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය උපරිම සෞඛ්‍ය ප්‍රතිලාභ අමාත්‍යාංශය හරහා ලබාදීමට හැකි වීම මා ලද භාග්‍යයක්. මෙම රෝහල නිසි ප්‍රමිතියකට තිබුනේ නැහැ. ICU එකේ පුස් බැදිලා, වැසිකිලි උතුරලා, එක වාට්ටුවකවත් එක ටයිල් කැටයක් වත් තිබුනේ නැහැ. විශාල දුෂ්කරතා මැද පළාත් සභාව යටතේ මෙම රෝහල තිබුනේ. අවුරුදු 25 කට කළින් මම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය විදිහට මේ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළා. ඒ අනුව මේ රෝහල මධ්‍යම රජයට පවරා ගෙන සංවර්ධනය කරන්න හැකි වුණා. ජයිකා සංවිධානයට මම පෙන්වා දුන්නා අඩුපහසුකම් හේතුවෙන් මගේ දිස්ත්‍රික්කයේ රත්නපුර රෝහලේ ඉපදෙන ළමයි 30 කගෙන් එක් දරුවෙක් මිය යන බව. මාතෘ හා ළමා ප්‍රතිකාර ඒකකයක අවශ්‍යතාවය පෙන්වා දුන්නා. ඒ වගේම ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් හදිසි අනතුරු ඒකකයක් ලබාදුන්නා.”

“රත්නපුර රෝහල කොළඹ ජාතික රෝහල හැරුණු විට ලංකාවේ තිබෙන දියුණුම රෝහල බවට පත් කිරීමට හැකිවෙයි කියා මා සිතනවා. මෙම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම නිසා අපට තව රුපියල් ලක්ෂ 7000 කට වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කරලා සබරගමුව වෛද්‍ය විද්‍යාලය ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට මහාචාර්ය ඒකකයක් ඇතුලු අලුතින් ගොඩනැගිලි හා සංකීර්ණ එකතු කර සබරගමුව වෛද්‍ය විද්‍යාලය සමග සම්බන්ධ ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරනවා.”

මෙම නිරික්ෂණ චාරිකාවෙන් අනතුරුව රෝහලේ පවතින මානව හා භෞතික සම්පත්, ඖෂධ පිළිබද සහ රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව රෝහල් අධ්‍යක්ෂතුමා ඇතුලු නිලධාරී මණ්ඩලය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් ද පැවැත්විනි. එහිදී රෝහලේ සංවර්ධන කටයුතු ප්‍රධාන සැළසුමක් යටතේ සිදුවිය යුතු බව අමාත්‍යවරිය පෙන්වා දෙන ලදි. මානව සම්පත් හිඟය අවම කිරීම සදහා අවශ්‍ය තින්දු තීරණ රැසක් ද මෙහිදී ගන්නා ලදි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට කැපවන ලෙස රෝහල් බලධාරීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, පොදුජන පෙරමුණේ රත්නපුර ආසන සංවිධායක රංජිත් බණ්ඩාර මහතා, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ එම්.බී.ඒ රොද්‍රිගෝ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය, සබරගමුව පළාත් සභාවේ සභාපති, ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා, සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා, පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන්, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා දේශපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.