පාකිස්ථාන රජය ඊයේ (23) සිව් වසරක් තුළ දෙවන වරටත්, එරට මුස්ලිම් පක්ෂයක් තහනම් කිරීමට පියවර ගත්තේය. නොබෝදා, එහි සාමාජිකයින් සහ පොලිසිය අතර ගැටුමකදී පුද්ගලයින් පස්දෙනකු මරණයට පත්වීමෙන් අනතුරුව රජය විසින් එම තීරණය ගෙන තිබේ.
මෙසේ තහනමට ලක්ව ඇත්තේ එරට ටෙහ්රීකෙලබ්බෙයික් පාකිස්ථාන් (Tehreek-e-Labbaik Pakistan) නම් පක්ෂයකි.
ගාසා යුද්ධය අවසන් කිරීම පිණිස, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මූලිකත්වයෙන් ගෙනා සටන් විරාමය අභියස එම පක්ෂ සාමාජිකයෝ පාකිස්ථානයේ, ඊශ්‍රායල විරෝධී පෙළපාළි පැවැත්වූහ. ත්‍රස්තවාදී සහ භීෂණ ක්‍රියාවන්ට සම්බන්ධ වීම හේතුවෙන්, පාකිස්තාන කැබිනට්ටුව ඒක පාර්ශ්විකව පක්ෂය තහනම් කිරීමට තීරණය කළේය.
රජයේ තහනම ප්‍රතික්ෂේප කරන බව එම පක්ෂය සඳහන් කරයි. එම තහනම, ව්‍යවස්ථාවට පටහැනි, නීති විරෝධී සහ පළිගැනීමේ චේතනාවෙන් ප්‍රකාශයට පත් කළ, ඒකාධිපති තීන්දුවක් බව ඔවුහු කියා සිටිති.
2011 වසරේ, 'අපහාසය' යන වරදට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයකු ඝාතනය කළ පොලිස් නිලධාරියකුගේ අවමංගල්‍ය උත්සවයකදී, සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත සංවිධානයක් ලෙස එම පක්ෂය බිහි විය. 2016 වසරේ, එය එරට දේශපාලනයට ප්‍රවිෂ්ඨ විය. 2018 මැතිවරණයේදී, මිලියන දෙකකට අධික ඡන්ද හිමි කර ගනිමින් එය, එරට සිව් වන විශාලතම දේශපාලන පක්ෂය බවට පත් විය.
ඉකුත් සමයේ, ජාත්‍යන්තරයේ හටගත් දේශපාලනික සහ ආගමික මතභේද මුල්කර එහි සාමාජිකයෝ රට පුරා විරෝධතා රැසක් දියත් කළහ. ගාසා අර්බුදය, සහ විදෙස් රටවලදී මුස්ලිම් ධර්මයට පටහැනිව පළ වූ මාධ්‍ය ප්‍රකාශන වැනි සිදුවීම් රැසක් ඊට පාදක විය.
ප්‍රචණ්ඩ උද්ඝෝෂණ හේතුවෙන් 2011වසරේ, එවක, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රජය විසින් එම පක්ෂය මුලින්ම තහනම් කෙරිණි. සය මසකට පසු, ප්‍රචණ්ඩත්වය නවතා සක්‍රීය දේශපාලනයේ යෙදෙන බවට කොන්දේසි සහිතව, එම තහනම ඉවත් කෙරිණි.
පාකිස්ථානය තුළ 'අපහාසය' මරණීය දණ්ඩනය හිමි වරදකි. පෞද්ගලික පලිගැනීම් පිණිස, එරට තුළ, එය අවභාවිතා කෙරෙන බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/24/2025
Pakistan bans Islamist party after deadly clashes

