Language Switcher

V2025

වැඩ බැරි දාසලාගේ කතා ද?

මහජනතාවට අවශ්‍ය සහන දෙන්නට අලුත් ආණ්ඩුව මේ තාක් අසමත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තමන්ට නැති නිසා බව අමාත්‍යවරු කියති.

අලුත් ජනාධිපතිවරයෙකුත් අගමැතිවරයෙකුත් ආණ්ඩුවකුත් පත් වී දැන් මාස දෙකක් හෙවත් දින හැටක් ගත වී තිබේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් යන මග මුල් දින සියයෙන් පැහැදිලි වන බවට මතයක් තිබේ. එනයින් බලන කල අලුත් ආණ්ඩුව ඒ සුපරීක්ෂාකාරී දින ගණනේ අඩකටත් වඩා ගත කොට හමාරය.

එහෙත්, මේ වන තෙක්, අගාධයට ගිය රටක් හැටියට ඔවුන් විසින් ම හඳුන්වනු ලැබූ රට නිවැරදි මාවතට ගන්නට හැකි දර්ශයක් තමන්ට තිබෙන බව ආණ්ඩුවේ ඇත්තන් ජනතාව ඉදිරියේ පෙන්වා නැත. ජනාධිපතිවරයා පත් කරන්නට දායක වූ , පාක්ෂකයින් නොවන, අතරමැද තීරුවේ ඡන්දදායකයන් දැන් ඒ ගැන දක්වන කනස්සල්ල ටිකක් දුරට ඔවුන් සමඟ කතා කිරීමෙන් වටහා ගත හැකි ය.

ආණ්ඩුවේ පළමුවැනි අසමත්කම මහජනතාවට පොරොන්දු වූ ජිවන බර අඩු කිරීමේ සහනය මෙතෙක් දෙන්නට නොහැකි වීමයි. එළවළු ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉතා ඉහළය. ගම්මිරිස්, කුරුඳු ඇතුළු වගාකරුවන්ට දීමට එකඟ වූ ඉහල මිල තවමත් ලැබී නැත. ගොවීන්ට ලැබෙන්නට තිබුණු පොහොරද දැන් නොලැබෙන දෙයක් වී තිබේ. නුදුරෙහිදී ම ඉන්ධන මිල වැඩි වන බව ඇමති බන්දුල ගුණවර්ධන කීවේ ය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම නවතා දමා තිබේ. අතිකාල දීමනා කපා දමා තිබේ. මාස දෙකක් ගතවීත්, රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීම තවමත් කොටසෙන් කොටස සිදුවෙ යි. ඒ පත් කිරීම් අතර දූෂිතයන් හා බැඳියාවන් අතර ගැටුම් තිබෙනවුන් සිටින බවට මැසිවිලි නැගෙන්නේ ආණ්ඩුවේ ම විවිධ පාර්ශවවලිනි. සමස්තයක් හැටියට ගතහොත් , රාජ්‍ය යාන්ත්‍රණය තවමත් අකාර්යක්ෂමය. එය කාර්යක්ෂම කිරීමට, ජනාධිපතිවරයා ගණනෙන් 300ක් පමණ වන රාජ්‍ය ආයතනවලට අවුරුද්දක් පුරා දිනපතා කඩා පැන්නත් හැකිවන්නේ නැත.

ආණ්ඩුව තමන්ගේ යැයි පෙන්වමින් මේ වන විට ආරම්භ කර ඇත්තේ ද පරණ ආණ්ඩුවේ ම වැඩය. ඔවුන් සැලසුම් කළ වැඩය. පරණ ආණ්ඩුවේ අවසාන භාගයේ කැබිනට් මණ්ඩල රැස්වීම්වල ගත් තීන්දු ගැන වාර්තාවක් ගතහොත් ඒ බව පැහැදිලි වනු ඇත.

කොළඹ ගාලු මුවදොර බාලදක්ෂ මාවතේ අක්කර තුනක ඉඩමක් සිංගප්පූරු සමාගමක් වෙත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බදු දෙන්නට තීරණය කිරීමේ සිට, සැහැල්ලු දුම්රිය, පාසල් සිසුන්ට වවුචර දීම ආදිය හරහා ඉන්ධන මිල සූත්‍රය දක්වා මේ ආණ්ඩුව පසුගිය ආණ්ඩුවේම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යයි. එම්සීසී ගිවිසුම් අත්සන් නොකරනාවට වඩා ඇත්තේ අත්සන් කිරීම පැත්තට බරකි. ' මහජනතාවගේ අදහස් විමසීම ' වැනි ව්‍යාජ සාටෝප හරහා ගිවිසුම අත්සන් කිරීම දක්වා මාර්ගය එළිපෙහෙළි කරමින් තිබේ.

කෙටියෙන් කිවහොත්, අලුත් ආණ්ඩුව දැන් දුවන්නේ පරණ ආණ්ඩුවේ ව්‍යාපෘති මත ම ය. ජනාධිපතිවරයා පත්කර ගන්නට ඡන්දය දුන් ලක්ෂ 69ක ජනතාවකට දැන් පෙන්වන්නේ ' කියන කොට එහෙමයි. කරන කොට මෙහෙමයි ' පන්නයේ සංදර්ශනයකි.

තමන්ගේ අකර්යක්ෂමභාවය වසා ගන්නට ආණ්ඩුව සූක්ෂම ලෙස උපාය දෙකක් භාවිතා කරයි. එකක් නම්, සිල්ලර පන්නයේ සංදර්ශන මාධ්‍ය හරහා එළි දැක්වීමයි. රන්ජන් රාමනායකගේ හඬපට තමන්ට හිතවත් සියලු පෞද්ගලික මාධ්‍ය හා රාජ්‍ය මාධ්‍ය හරහා කුණුගොඩක් අවුස්සන්නා සේ වරින්වර එළි දක්වා කුණු රසයෙන් ජනතාව පිනවීම එක් උපක්‍රමයකි.

අනෙක, මහජනතාවට පොරොන්දු වුණ සහන දෙන්නට හා බලාපොරොත්තු පාලනය ඇති කරන්නට නොහැකි වී ඇත්තේ පාර්ලිමේන්තුවේ තමන්ට වැඩි බලයක් නැති නිසා යැයි ව්‍යාජ ප්‍රවාදයක් පැතිරීමයි.

තමන්ට වැඩි බලයක් තිබෙනවාදැ 'යි උරගා බලන්නට වත් ආණ්ඩුව පාර්ලිමේන්තුව රැස් කරන්නේ නැත. දිගින් දිගට ම පාර්ලිමේන්තුව කල් තැබෙයි. අනෙක් අතට , මහජනතාවට සහන දෙන , රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන කිසිම නීතියක් පාර්ලිමේන්තුවට ගෙන එන්නට ආණ්ඩුව මෙතෙක් පියවර ගෙන නැත. නොවැම්බරයේදී අලුත් ජනාධිපතිවරයෙකු පත් කර ගත් විට, හිටපු අගමැතිවරයාත් ඇමති මණ්ඩලයත් සිය තනතුරුවලින් ඉවත්වී අලුත් ආණ්ඩුවක් අගමැතිවරයෙකු පත් කර ගන්නට ඉඩ සලසා දුන් අතර , සිය පොරොන්දු ඉටු කිරීමට අලුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ දී අවශ්‍ය සහාය දීමටත් එකඟ විය.

2015 ජනවාරියේ අලුත් ආණ්ඩුවක් පත් වන විට ඔවුන්ට තිබුණේ ද පාර්ලිමේන්තුවේ අඩු බලයකි. ආසන 42කි. එහෙත් රුපියල් 10,000කින් රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීමේ සිට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දක්වා විශාල වැඩකොටසක් කර ගන්නට ඒ ආණ්ඩුවට හැකි විය. එනයින් බලන කල මේ කතා වැඩ බැරි දාසලාගේ කතා සරි ය.

අනිද්දා