Language Switcher

V2025

දිලිත් - රේන කුණු රසෙන් නඩු මගට : නඩු පිට නඩු වැටෙන්න වැල ඕපන් !

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නැඟූ අසත්‍ය චෝදනාවක් ප්‍රචාරය කිරීම ඔස්සේ තමන්ගේ කීර්ති නාමයට සිදු කළ හානිය සඳහා රු. බිලියනයක වන්දියක් ඉල්ලා ගිහාන් නිකලස් නම් වෙබ් අඩවි හිමිකරු වෙත දෙරණ මාධ්‍ය ජාලය ඇතුළු සමාගම් කිහිපයක හිමිකරු වන දිලිත් ජයවීර සිය නීතිඥයා මාර්ගයෙන් එන්තර වාසි යවා තිබේ.රංජන් රාමනායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග සිදුකරන දුරකථන සංවාදයකදී දිලිත් ජයවීර කුඩු ව්‍යාපාරයෙහි නියැළෙමින් කළු සල්ලි සුදු කරන බවට නැඟූ අභූත චෝදනාව ප්‍රචාරය ඔස්සේ සිය කීර්ති නාමයට හානි කිරීම මෙම එන්තරවාසියට පදනම් වී තිබේ.

අදාළ මුදල දින 14ක් ඇතුළත ගෙවන ලෙස ද නැතහොත් නීති මාර්ගයෙන් කටයුතු කරන බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

රේනෝ ද සිල්වාත් නඩු මගට !

මේ අතර හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෝනෝ සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, තම කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ කිසිඳු සොයා බැලීමකින් තොරව විකාශය කළ මාධ්‍ය නාලිකාවලට එරෙහිව, තම කීර්තිනාමයට සිදුකළ හානිය සඳහා රුපියල් බිලියනක වන්දි ඉල්ලා මේ වන විටත් එන්තරවාසි යොමුකර ඇති බවද රොනෝ සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එසේම, කාඩ්බෝඩ් වීරයන් ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රකාශ කිරීමෙන් වැළකී හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ කරන ලෙස ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායකට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට  සිය නිවේදනය හරහා අභියෝග කර සිටියි.

“කශේරුකාවක් නොමැති මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සාවද්‍ය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නිසාවෙනි. හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසත් එලෙස ප්‍රකාශ නිකුත් කළ සැණින් තම කීර්තිනායමට සිදුකරන හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණදී බිලියන ගණනක වන්දියක් ගෙවීමට සූදානම් වන ලෙසත් අභියෝග කරනවා” යැයි ඔහු සඳහන් කරයි.

ඒ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට ප්‍රචාරය කිරීම ඔස්සේ අසාධාරණයට ලක්වූ පුද්ගලයින් රැසක් ම එම හඬපට ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනවලට හා සමාජ මාධ්‍යය වලට එරෙහිව නඩු පැවරීමට මේවනවිට කටයුතු කරමින් සිටිති.

මාධ්‍ය ආචාරධර්ම මුලුමනින්ම නොතකා හැරීම !

රාමනායකගේ මාර කතා කිසිදු චාරයකින් හෝ විචාරයකින් තොරව සමාජගත කරන පත්තර, ටෙලිවිෂන් සහ රේඩියෝ නාලිකා කරන්නේ මාධ්‍ය ආචාරධර්ම මුලුමනින්ම නොතකා හැරීමක් බවත්, පුවත් වෙබ් අඩවි මේ කතාබහ වෙබ්ගත කළ පමණට මහා මාධ්‍ය විසින්ද එය කිරීම සාධාරණීකරණය වන්නේ නැති බවත් සමාජ මාධ්‍ය සම්බන්ධ ප්‍රවීණයකු වන නාලක ගුණවර්ධන පවසයි.

රන්ජන් රාමනායකගේ හඬපට මාධ්‍ය ඔස්සේ කිසිඳු වගවිභාගයකින් තොරව ගලායාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කර ඇත්තේ 'රාවය' පුවත්පතේ ලිපියක් පළකරමිනි. එම ලිපියෙහි මෙසේද සඳහන් වේ.ශ්‍රී ලංකා කතෘ සංසදය සකස් කල මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ප්‍රතිපත්ති මාලාව(2014 සංශෝධනය) මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව මෙරට තිබෙන වඩාත් ප්‍රකට මාර්ගෝපදේශනයයි. එහි නිරවද්‍යය වාර්තාකරණය පිළිබදව දැඩි ලෙස අවධාරණය කරනවා.
“නිවැරැදිවත් විකෘතියකින් තොරවත් ප්‍රවෘත්ති පළ කිරීම ඡායාරූප හා වෙනත් අනුරූප නිවැරදිව සහ විකෘති කිරීමකින් තොරව පළ කිරීම සඳහා මාධ්‍ය, සාධාරණ පරෙස්සමකින් ක්‍රියා කළ යුත්තේය,” යයි එහි සඳහන්.

“වාර්තාවල නිරවද්‍යතාව, එය පළ කැරෙන්නට කලින් සොයා බැලීම සඳහා කර්තෘවරුත් ඒ ඒ පුවත්පත් කලාවේදියෝත් සෑම සාධාරණ ප්‍රයත්නයක්ම දැරිය යුත්තෝය. එවැනි සොයා බැලීමක් ප්‍රායෝගිකව නොකළ හැකි අවස්ථාවකදී ඒ බව වාර්තාවෙහි සඳහන් කළ යුතුය,” එය තව දුරටත් කියනවා.

“අපි ජනතාවට දෙන්නේ ඔවුන් කැමති සහ ඉල්ලන දේ” !!!

රාමනායක කථා ගොන්නේ ඇති කිසිවක් ව්‍යාජ නොවන (authentic) බවට කිසිදු මාධ්‍යක් තහවුරු කර ගෙන ඇත්ද? ඩිජිටල් හසු කර ගැනීම් ගැන එබඳු විනිශ්චයක් දීමට තාක්ෂණික විශේෂඥ බව මෙරට කිසිදු මාධ්‍ය ආයතනයක තිබේද?

ප්‍රශ්න දෙකට පිළිතුර ‘නොමැත’ යන්න මගේ අවබෝධයයි. ඒ අනුව මාධ්‍ය මේ දිනවල කරන්නේ එහෙන් මෙහෙන් අහුලාගත් ‘වොයිස්කට්’ කිසිදු සංයමයකින් හෝ තහවුරු කර ගැනීමකින් තොරව සමාජගත කිරීමට සමාන දෙයක්.

“අපි ජනතාවට දෙන්නේ ඔවුන් කැමති සහ ඉල්ලන දේ” යයි සමහර මාධ්‍ය කප්පිත්තෝ කියාවි. එහෙම නම් මාධ්‍ය ආචාරධර්ම කුමකටද?   

ඇත්තටම කර්තෘ සංසදයේ ආචාර ධර්මවලට මුද්‍රිත මාධ්‍ය බහුතරයක් පුවත්පත් පවා අනුගත වන්නේ නැහැ. (ඉන්දියාවේ කර්තෘ සංසදය මෙන් නොව, මෙරට කර්තෘ සංසදය යනු මාධ්‍ය වෘත්තීයට සැලකිය යුතු බුද්ධිමය හෝ සදාචාරමය නායකත්වයක් දීමට අසමත් වූ කණ්ඩායමක්.)

මේ අතර මෙරට විද්‍යුත් මාධ්‍යවලට (ප්‍රසිද්ධියේ ප්‍රකාශිත) ආචාරධර්ම මාලාවක් ඇත්තේම නැහැ. පුවත් වෙබ් අඩවිවලට ආචාර ධර්ම මාලාවක් 2017දී වෘත්තීය වෙබ් මාධ්යවේදීන්ගේ සංගමය සම්පාදනය කළ ද බොහෝ පුවත් වෙබ් අඩවි එය අනුගමනය කරන්නේ ද නැහැ.

 මේ පසුබිම තුළ රාමනායක කථා ගැන මෙරට මාධ්‍ය කරන්නේ ශබ්ද විකාශන යන්ත්‍රණයක ක්‍රියාකාරිත්වයට සම කළ හැකි විස්තාරණය (amplify) කිරීමක් පමණයි (ශබ්ද විකාශනය හරහ ගලා යන්නේ පිරිත් ද, බයිලා ද, දේශපාලන වේදිකා කථාවක් ද නැතිනම් වෙන යමක් ද යන්නට යන්ත්‍රය වග කියන්නේ නෑ.)

දැනටමත් අයාලේ යමින් සිටින සමාජයකට අගාධයටම යන්නට පාර කියන ආකාරයේ මාධ්‍ය කලාවක් තිබීම අපේ උරුමයයි! ''