බොරු විරුවන්ගේ රෙදි ගැලවූ : වූහාන් ගිය යානයේ ප්‍රධාන නියමුවා !

බොරු විරුවන්ගේ රෙදි ගැලවූ : වූහාන් ගිය යානයේ ප්‍රධාන නියමුවා !

අපි වීරයන් නෙමෙයි  රට වෙනුවෙන් අපි අපේ රාජකාරිය ඉටුකළා’’ යැයි මාරාන්තික කොරොනා වෛරසය හේතුවෙන් සිර වී සිටි  ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා  පැවැසීය.

තමන් ඇතුළු එම මෙහෙයුමට සහභාගී වූ  ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සියලුම කාර්ය මණ්ඩලය ස්වේච්ඡාවෙන්ම රට වෙනුවෙන් එම අවදානමට මුහුණ දුන් බවද  කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු සඳහන් කළේය.

කොළඹ හිල්ටන් හෝටලයේදී අද (03) පැවති මෙම  මාධ්‍ය හමුව සඳහා චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සියලුම ගුවන් කාර්ය මණ්ඩලය එක්ව සිටීම විශේෂත්වයකි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා  සිය අත්දැකිම් සම්බන්ධයෙන් මෙසේද පැවැසීය.

‘‘මේ ගැන අපිට ආරංචි වුණාම මේ මෙහෙයුම බාර ගන්න මම එකඟ වුණා. අපි ඉස්සෙල්ලම බැලුවා මේ මෙහෙයුමට  යන්නේ කවුද කියලා. මම ඉස්සෙල්ලා ඉදිරිපත් වෙලා මේ මෙහෙයුමට   ස්වේච්ඡාවෙන්ම යන පිරිස කවුද කියලා බැලුවා. එතකොට මේ ඔක්කොම ස්වේච්ඡාවෙන්ම මේ මෙහෙයුමට කැමති වුණා.

මේ  මෙහෙයුම ගැන දැන ගත්තු ගමන්  මම ගෙදරට කිව්වා. වයිෆ් ඇහුවා ඇයි යන්නේ කියලා. මම කිව්වා අපේ ළමයින් දෙන්න එතන හිටියොත් මොකක්ද කරන්නේ කියලා. එතකොට වයිෆ් කිව්වා එහෙනම් ප්‍රශ්නයක් නැහැ යන්න කියලා.

මොනවද කරන්න  ඕන කියලා ඉන් පසු අපිට ගුවන් හමුදාවෙන් දැනුවත් කිරීමක් කළා. අදින්න  ඕන ආරක්ෂිත ඇදුම, කොහොමද ක්‍රියා කරන්නේ කියලා  ඔවුන් අපිව දැනුවත් කළා.

මේ ගමනාන්තයට අපි කවදාවත් ගිහින් නැහැ.  ඒ නිසා ඉන්ධන, ආහාර කියන මේ  හැම දෙයක්ම   ගැනම අපි සැලසුම් කළා.  අපිට විශාල පිරිසක් මේ ගමනට සහය ලබාදුන්නා.  අපි කාර්ය මන්ඩලයේ සියලු දෙනා මේ මෙහෙයුමට අවසර ලැබෙන තෙක් වැඩි කාලයක් ගුවන් තොටුපළේ සූදානමින් සිටියා. අවසර ලැබුණ ගමන්ම අපි මේ මෙහෙයුම ආරම්භ කළා.

වුහාන් වලට යද්දී ඇත්තටම  කවුරුත් හිටියේ නැහැ. අපි යද්දි එයා ඉන්දියා සහ දකුණු කොරියන්  ගුවන් යානා දෙකක්  රඳවා තිබුණා.  සාමාන්‍ය ගුවන් ගමනකදී වගේ සන්නිවේදන කටයුතු පහසුකම් ආදී ඒ මොනවත් තිබුණේ නැහැ.

අපි මේ විශේෂිත ඇඳුම ඇදගෙන තමයි මේ මෙහෙයුම සිදුකළේ. අපි පැය 12 ක පමණ කාලයක් මේ ඇඳුම ඇදගෙන හිටියා. ගුවන් හමුදාව ලබාදුන් ආරක්ෂිත උපදෙස් අපි එහිදී අනුගමනය කළා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.

මෙම අවස්තාව සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවා විධායක කපිතාන් රජින්ඩ් රණතුංග, කපිතාන් අනුෂ්ක ජීවන්දර, ඇතුලු ගුවන් මෙහෙයුමට එක්වූ සියලූම කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය.

ප‍්‍රශ්නය : මෙහෙයුමෙන් පස්සේ  ළමුන් පාසල්වලට ඇතුළත් කිරීමේදී ගැටලුවක් තිබුණා. මේ වනවිට එය විසදිලාද?

පිලිතුර : (ප‍්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා) මම හිතන්නේ එහෙම  කතාවක් තිබුණා. නමුත් දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. පාසල්වටත් බියක් ඇති වෙන්න ඇති  අපි ඒ වයිරස් එක අරන් ඇවිත් ළමයින්ටත්  ආසාදනය වෙයි කියලා. පාසල් පැත්තෙන් හිතුවොත් ඒකෙත් පොඩි සාධාරණයක් තියෙනවා.

ප‍්‍රශ්නය : මෙහෙයුමමේදී  චීනයේදී කොයි වගේ තත්වයක් ද ලැබුණේ ?

පිලිතුර : (ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවා විධායක කපිතාන් රජින්ඩ් රණතුංග මහතා)   මේ මගීන් 33 බෝඩ් කරන්න අපිට පැය 4 ක් ගතවුණා. එච්චර සෝදිසියකින් තමයි මේ කටයුතු සිදුවුණේ.

ප‍්‍රශ්නය : ඒ මෙහෙයුමේදී ඒ ළමයින් මොන වගේ හැඟීමක්ද ප‍්‍රකාශ කළේ.

පිළිතුර : ජෙනලි ජෑන්ස් (ගුවන් කාර්ය මණ්ඩල සුපරීක්ෂක) ඇත්තටම කියනවනම් ඒ අය  මාර සතුටකින් ආවේ. අපිව දැක්ක  ගමන් ඒ අයගේ ඇස්වල කදුලු පිරුණා. ආපු ගමන් අපි ඒ අයට මාස්ක් එකක් දාලා ඒ නිරෝදායන කටයුතු සිදුකළා. 

බහිනකොටත් මේ  අය අපිට අත්පොලසන් දීලා ස්තූති කරලා පින් දීලා තමයි බැස්සේ. පොඩි ළමයින් පවා හිටියේ හරිම සතුටින්.

(ලංකාදීප )

image a6f90c7cc2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න