ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය දරන මාතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් අත්තනෝමතික ලෙස සිදුකරන බරපතල පාරිසරික විනාශයක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැද්දගේ විසින් මේ පාරිසරික විනාශය සිදුකරමින් සිටින්නේ වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් කැළිකසල බැහැර කරමින්ය.
ප්‍රදේශයේ ජනතාව සඳහන් කරන්නේ ජනතාව සමීපව වාසය කරන, පොල්වත්ත ගඟ අසල ඉඩමක මේ කසළ බැහැර කිරීම සිදුකරන බවය.
එසේම මේ සඳහා ප්‍රාදේශීය සභාව නිල තීන්දුවක් ගෙන නොමැති බවත්, එපමණක් නොව වැලිගම ප්‍රාදේශීය ලේකම් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ නිසි අවසරයක් ගෙන නොමැති බවත් ඔවුන් පවසයි.
මේ අසල ජනතාව ජීවත්වීම නිසා මෙන්ම කසළ බැහැර කරන ඉඩම අසල පොල්අතුමෝදර නවෝද්‍යා පාසල පිහිටා තිබීමත් හේතුවෙන් එය ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම සිසුන්ගේ සෞඛ්‍යට තර්ජනයක් බවත් ඔවුන් පෙන්වාදෙයි.
තවද සංචාරක කර්මාන්තයේ අධි සංවේදී කලාපයක පිහිටි මේ ප්‍රදේශයේ සිදුකරන පාරිසරික විනාශය සම්බන්ධව අවස්ථා කිහිපයකදී විදෙස් සංචාරකයන්ද පැමිණිලි කර ඇතත් වගකිව යුත්තන් ඒ සම්බන්ධව කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් දැනගන්නට ඇත.
මේ සම්බන්ධව ප්‍රශ්න කරන පිරිස් විමසා සිටින්නේ සභාවේ නිල තීන්දුවක් ගෙන නොමැති පසුබිමේ , ප්‍රාදේශීය ලේකම් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියක් නොමැතිව සභාපතිගේ අත්තනෝමතික තීන්දු මත පරිසරය වැනසීමට ඉඩදීම අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තියද කියාය.
මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන වෙත මේ පුවත දැන්වූ නමුත් පොදුජන පෙරමුණේ බලාධිකාරිය හේතුවෙන් ඒ කිසිඳු මාධ්‍යයක් අදාළ පුවත ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටින බවත් ජනතාව මැසිවිලි නගයි. පසුගිය සමයේ තම කීර්ති නාමය දරුණු ලෙස කෙළෙසාගත් මේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති දැන් ප්‍රදේශය කුණු ගඳ ගස්සවා මිහිපිට අපායක් කිරීමට පෙර මේ පාරිසරික විනාශය වළක්වාලීම ආණ්ඩුවේ වගකීම බවත් ඔවුන් පවසයි .



