ඩොලර් මිලියන 2 අල්ලස : කපිල සහ බිරිඳ 19 වනදා තෙක් හිරේ !

ඩොලර් මිලියන 2 අල්ලස : කපිල සහ බිරිඳ 19 වනදා තෙක් හිරේ !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරුණු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් එය ප්‍රතික්ෂේප කරන ලදුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබුණේ, ඔවුන් දෙදෙනා බ්‍රහස්පතින්දා (පෙබ: 06) පෙරවරුවේ සිය නීතිඥයෙකු හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් ඉන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එහිදී කියා සිටියේය.

කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසනායක වරෙන්තුවක් නිකුත් කළේ, පසුගිය සඳුදා (පෙබ: 03) දිනයේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමේ යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන එය ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමක් හරහා විශුද්ධිකරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළව එලෙස වරෙන්තු නිකුත් කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබිණි.

මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබිණි.

කපිල චන්ද්‍රසේන සහ බිරිඳට එරහිව ඇති චෝදනා මොනවාද?

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 14363/19 අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙතෙක් සිදුකළ විමර්ශනවලින් සනාථ වී ඇති කරුණු:

  1. Biz Solutions නැමැති සමාගම ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තිය නමින් ලියාපදිංචි වී ඇති අතර ඇය එම සමාගමේ එකම අධ්‍යක්ෂිකාවය.
  2. මෙම සමාගම පවත්වාගෙන ගිය ගිණුමට 2013.12.27 වෙනි දින ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් EADS HQ/ SSC France නැමැති ප්‍රංශ සමාගමක් විසින් ඒවා ඇති අතර, කපිල චන්ද්‍රසේන එම මුදල ඔස්ට්‍රේලියාවේ Commonwealth Bank හි පවත්වාගෙන ගිය ගිණුමකට මාරු කර තිබිණි.
  3. Biz Solutions සමාගමට අයත් ගිණුම 2015.11.25 වෙනි දින වසා දමා ඇති අතර, ඒ වන විට එහි කිසිදු මුදලක් තිබී නොමැත.
  4. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රංශයේ Airbus SAS සමාගම සමග A330-900 වර්ගයේ ගුවන් යානා හතරක් සහ A330-300 වර්ගයේ ගුවන් යානා හයක් මිලදී ගැනීමට 2013.05.16 වෙනි දින අවබෝධතා ගිවිසුමකට එළඹී ඇත.
  5. ඉහත සඳහන් EADS HQ/ SSC France නැමැති සමාගම Air Bus SAS සමාගමේ මව් සමාගම වේ.
  6. කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස 2011.08.01 වෙනි දින පත් කර ඇති අතර, 2015 ජනවාරි මස දක්වා එම තනතුරේ කටයුතු කර ඇත.

(බීබීසී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න