ශ්‍රී ලංකාවේ දමිළ බෞද්ධයින් 40,000කට වඩා ඉන්නවා - උතුරේ හිටපු ආණ්ඩුකාර සුරේන් රාගවන් (VIDEO)

ශ්‍රී ලංකාවේ දමිළ බෞද්ධයින් 40,000කට වඩා ඉන්නවා - උතුරේ හිටපු ආණ්ඩුකාර සුරේන් රාගවන් (VIDEO)

ශ්‍රී ලංකාව තුළ තමා ඇතුළු දමිළ බෞද්ධයින් 40,000කට වඩා ජිවත් වන බව උතුරේ හිටපු ආණ්ඩුකාර සුරේන් රාගවන් පවසයි.

ලන්ඩන්හි ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිලිබඳ විද්‍යාර්ථවේදියකු වන සුරේන් රාගවන් එබව සඳහන් කර සිටියේ, කථිකාචාර්ය දිලන්ත විතානගේ විසින් මෙහෙයවන 'ලීඩර් ටීවී' හි ''සිතමු'' වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''ලංකාව පුරාම මා ඇතුළුව 40,000ක් පමණ දෙමල බෞද්ධයින් ඉන්නවා. දැන් මෙතන තියන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ, බෞද්ධත්වය ගැන කතා කරද්දී සිංහල අය හිතනවා බුද්ධාගම ඒ අයගේ කියලා. දැන් බුදුන් සිංහල නෙමෙයි කියල කියපුවාම 'හාට් ඇටැක්' හැදෙන අය ඉන්නවා. විජය සිංහල නෙමෙයි කීවාම අපිත් එක්ක ගහගන්න එන කට්ටිය ඉන්නවා.

බුද්ධාගම සිංහලයාගේ බුදලයක් බවට පත් නොකර බුද්ධගම උතුරටත් දකුණටත් නැගෙනහිරටත් බස්නාහිරටත් අයිති ලෝක දර්ශනයක් ලෙස ජිවිත රටාවක් ලෙස පත් කරන්නට සිංහලයින් මැදිහත්වන දවසක මිට වඩා යහපත් සමාජයක් ගොඩනගන්න පුළුවන් ..''

මෙහිදී පළාත් සභාවලට බලය බෙදා හැරීම් සාධාරණිකරණය කරමින් අදහස් දැක්වූ උතුරේ හිටපු ආණ්ඩුකාරවරයා, පසුගිය රාජපක්ෂ පාලන සමයේදී උතුරේ සංවර්ධනය විශාල වැඩ කොටසක් කර ඇතත්, දේශපාලන අර්බුදය විසඳීමට දැක්වූ අසමත්කම බරපතල අඩුපාඩුවක් බව කියා සිටියේය.

උතුරේ ජනතාව රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි දැයි දිලන්ත විතානගේ කළ විමසීමේදී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

''කාරණය හරිම පැහැදිලියි. රාජපක්ෂ පාලන සමයේදී උතුරේ විශාල වශයෙන් මංමාවත් හැදුවා. සංවර්ධනය කළා. ලංකාවේ වෙනත් තැන්වලටත් වඩා. එත් කලින් තිබුන තුවාලයට විසඳුමක් ලැබුනේ නැහැ. දෙමල ජනයාගේ දේශපාලන චින්තනය තුළ තිබෙන ඒ තුවාලය ඒ අකාරයෙන්ම තවමත් තියනවා. ඇත්තටම සිදුවිය යුතුව තිබුනේ සංවර්ධනය කරන ගමන්ම දේශපාලන විසඳුමක් ලබාදෙන එකයි. එත් එය ඉටු වුනේ නැහැ. එය බරපතල අතපසුවීමක් විදියටයි මම දකින්නේ.''

කෙසේවුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උතුරට විශේෂයෙන් උතුරේ ජනතාව විශාල සේවයක් ඉටුකල බවද ඔහු කියා සිටියේය.

ආවා කල්ලියට මොකද වුනේ ?

උතුරේ 'ආවා' කල්ලිය සම්බන්ධයෙන් දිලන්ත විතානගේ කළ විමසීමේදී ඔහු එම තරුණයින්ගේ ප්‍රශ්න පිළිබඳව මෙන්ම උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස එම සංවිධානය සමාජ ගත කිරීමට මැදිහත්වූ ආකාරයද විස්තර කළේය.

එසේම, යුද්ධ සමයේදී මෙන්ම පසුවද උතුරේ අතුරුදන්වුවන් හා අතුරුදන් කළ වුවන් සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කළ සුරේන් රාගවන්, උතුරේ කුල ප්‍රශ්නය සම්බන්ධයෙන් විග්‍රහයක් කරමින් පැවසුයේ, ''ප්‍රභාකරන්ගේ අරගලයේ ඇරඹුම සිදුවූයේද කුල පිඩනයට එරෙහිව'' බවයි.

සම්පුර්ණ සංවාදය පහත විඩියෝවෙන් බලන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න