තුන්සියයකට ආසන්න පිරිසකට මරු කැඳවූ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ ආන්දෝලනාත්මක තොරතුරු ලිඛිත සාක්ෂිද සමඟ අධිකරණයට සහ ජනාධිපති කොමිසමට ඉදිරිපත් කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා තීන්දුකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බව දේශය පුවත්පත වාර්තා කරයි.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.
මෙම ප්‍රහාරය සම්බන්ධ මෙතෙක් පළවූ බොහෝ අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමටත් මේ සඳහා ඍජුව වගකිවයුත්තේ කවුද යන්න තහවුරු කිරීම පිණිසත් ඔවුන් මෙලෙස සාක්ෂි ලබාදීමට නියමිත බව කියැවේ. ප්‍රථමයෙන්ම ඔවුන් සාක්ෂි දීමට නියමිතව ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කරුණු විමසන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේය. තවත් දෙසතියක් තුළ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා ඊට කැඳවීමට නියමිත බව වාර්තාවෙයි.
ඉන් අනතුරුව ඔවුනට එරෙහිව අධි චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව කැඳවීමට නියම වී ඇත. කලින් මෙම විත්තිකරුවන් දෙදෙනා තමන් ජනාධිපති කොමිසම හා අධිකරණය හමුවේ කරනු ලබන ප්‍රකාශ රහසිගතව සිදුකිරීමට කලින් සැලසුම්කර තිබුණද දැන් එම සාක්ෂි විවෘත උසාවියේදී ජනතාවගේද දැනගැනීම පිණිස ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇතැයි නීති අංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ලෙස සලකා හිටපු පොලිස්පති හා ආරක්ෂක ලේකම් පසුගිය මාස 4ක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබ සිටියහ.

