Language Switcher

V2025

අගමැති - ඇමැති පෞද්ගලික කාර්‍ය මණ්ඩල අක්‍රීය කරන : අදිසි චක්‍රලේඛයක් එයි !

අග්‍රාමාත්‍යවරයාගේ මෙන්ම කැබිනට් අමාත්‍යවරුන් , රාජ්‍ය අමාත්‍යවරුන් සියළු දෙනාගේ පුද්ගලික ලේකම්වරු, මහජන සම්බන්ධතා නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩල විසින් රජයේ ව්‍යාපෘති ඇතුළු වෙනත් කටයුතු සඳහා දුරකථන ඇමැතුම්, ලිපි ආදිය ලබා දීම වහාම නතර කළ යුතු බව දන්වමින් නියෝගයක් නිකුත්කර තිබේ.

ජනාධිපති චක්‍රලේඛ අංක PS/SP/Circular/07/2020 දරණ එම නියෝගය 2020 පෙබරවාරි 07 වනදා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙනුවෙන් නිකුත්කර ඇත්තේ ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින්ය.

එහි වැඩිදුරටත්  පවසා ඇත්තේ අගමැතිගේ , කැබිනට් ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන් වෙනුවෙන් ඉහත දක්වා ඇති කටයුතු සිදුකළ යුත්තේ  සියල්ල කළ යුත්තේ අගමැති ලේකම්, අමාත්‍යාංශ ලේකම්ලා සහ රාජ්‍ය  අමාත්‍ය  ලේකම්ලා මගින් පමණක් විය යුතු බවය.

එසේම මීට පෙර එවැනි ලිපි ඇමැතුම් දී ඇත්නම් ඒවා අවලංගු කළ යුතු බවද එකී චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වේ. 

පෞද්ගලික කාර්‍ය මණ්ඩලයට රාජකාරි නෑ !

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම නව චක්‍රලේඛය හරහා අගමැති , කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩල වලට තවත් කිරීමට රාජකාරියක් නොමැති වන බවය.

වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන ආකාරයට රජයේ ව්‍යාපෘති, ඇතුළු අමාත්‍යාංශ ආශ්‍රිත කාර්‍ය කටයුතු සඳහා බොහෝ විට අමාත්‍යවරයා වෙනුවෙන් එකී ලිපි ගනුදෙනු සහ ඇමතුම් ලබාදෙනු ලබන්නේ පෞද්ගලික කාර්‍ය මණ්ඩලය විසින්ය. එහිදී ඇමැති පෞද්ගලික ලේකම් , අමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී, සම්බන්ධීකරණ  ලේකම්වරුන්  සහ මහජන සම්බන්ධතා නිලධාරීන් ප්‍රමුඛ වෙයි. 

ඔවුන් මේ කටයුතු සිදුකර සිටින්නේ අමාත්‍යවරයා දැනුවත්ව සහ අමාත්‍ය උපදෙස් නියෝග මතය. එවැනි පසුබිමක මෙවැනි චක්‍රලේඛයක් හරහා ඔවුන්ගේ එම රාජකාරි අවලංගු වන අතර අමාත්‍යවරයාගේ පෞද්ගලික කටයුතු , ( වෙලාවට බෙහෙත් ටික සැපයීම , වතුර වීදුරුව හෝ බෝතලය සැපයීම,  ආහාර ගැන සොයා බැලීම ) වලට පමණක් සීමා වෙයි.

අමාත්‍යාංශ ලේකම් පත්කරන්නේ ජනාධිපති !

අනෙක් අතට අමාත්‍යාංශයේ ලේකම්  පත්කිරීම සිදුකරන්නේ ජනාධිපති විසින්ය. අමාත්‍යවරයා සහ ජනාධිපති අතර ඇති සම්බන්ධය මත ඇතැම් අවස්ථාවලදී අමාත්‍යාංශයේ ලේකම් මාරුකර ගැනීමේ සහ එවැන්නක් වෙනුවෙන් අවස්ථාව තිබේ. එහෙත් තීන්දුව ගන්නේ ජනාධිපති විසින්ය.

ඒ බව පෙන්වා දෙමින් දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ මෙම චක්‍රලේඛය අනූව අමාත්‍යවරයා පසෙක තබා ජනාධිපතිට අවශ්‍ය ආකාරයට අමාත්‍යාංශ හැසිරවීමේ හැකියාව ලැබෙන බවය. ඒ පසුබිම අමාත්‍යවරයා කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කරන්නෙකු බවට පමණක් සීමා කිරීමට වුවත් හැකියාව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එපමණක් නොව කොහොමත් අමාත්‍යාංශයක ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරීයා අමාත්‍යාංශයේ ලේකම් බැවින් කිසිම අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩල සාමාජිකයකුට එම සීමාව ඉක්මවා යාමට නොහැකිය. ඒ පසුබිමේ නිකුත්කර ඇති මේ චක්‍රලේඛය අමාත්‍යවරුන් අපහසුතාවට පත්කිරීමට වැඩි ඉඩක් ගෙනෙන්නක් විය හැකි බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

අගමැති මහින්දගේ කාර්‍ය මණ්ඩලය 

මෙහිදී අදාල චක්‍රලේඛය හරහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩලය පවා අක්‍රීය වීම සිදුවන බවත් ඔවුන් පෙන්වා දෙයි. 

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනූව ජනාධිපති වෙත අමාත්‍යාංශ තබාගත නොහැකිය. නමුත් මේ චක්‍රලේඛය හරහා ජනාධිපතිට තම නියෝග අනූව පමණක් කටයුතු කරන අමාත්‍යාංශ ලේකම්වරයකු හරහා එකී අමාත්‍යාංශයේ සියළු කටයුතු සඳහා සෘජුව මැදිහත්වීමට අවස්ථාව ලැබෙන බවත් විචාරක මතය වී තිබේ.

මෙය අමාත්‍යවරුන් සහ පෞද්ගලික කාර්‍ය මණ්ඩල වෙතින් සිදුවන දූෂණ , නීති විරෝධී පත්වීම් ඇතුළු අනිසි අනෛතික කටයුතු වැලැක්වීමට නිකුත්කර ඇති බවට කෙනෙකුට හිත හදාගන්න හැකි වුවත් ඒ සියල්ල වැලැක්වීමට අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති වෙත හැකියාව මේ චක්‍රලේඛය නැතත් පැවති බව විචාරකයන් වැඩිදුරටත් සදහන් කර සිටියි.

චක්‍රලේඛය මෙන්න !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ නියෝගය අනූව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර නිකුත්කල අදාල චක්‍රලේඛය පහත දැක්වෙයි.
IMG 20200210 WA0000