සජිත්ගේ අලුත් සන්ධානයේ නම : "සමගි ජාතික බලවේගය - ලකුණ "හදවත" !

සජිත්ගේ අලුත් සන්ධානයේ නම : "සමගි ජාතික බලවේගය - ලකුණ "හදවත" !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන නව සන්ධානය, 'සමගි ජාතික බලවේගය' ලෙස නම් කර ඇති අත එහි ඡන්ද ලකුණ ලෙස 'හදවත' තෝරාගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එම පක්ෂය ලියාපදිංචි කිරීමට අදාල ලියකියවිලි අද (10) පෙරවරුවේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාර දී ඇතැයි ද පැවසේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලකුණ පිළිබඳත් එම සන්ධානයේ ලේකම් කව්රුන්ද යන්න පිළිබඳවත් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් 'සිරිකොත' එජාප මූලස්ථානයේ දී අද(10) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වේ.

ෆොන්සේකාට තවමත් ආරාධනයක් නැහැ !

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ අතර පක්ෂ නායකයා විසින් අලුත් සාමාජිකයින් පත් කිරීමේදී සජිත් පිළ නියෝජනය කළ  රෝසි සේනානායක, ඉමිතියාස් බාකිර් මාකර්, අජිත් පී පෙරේරා හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යළි පත් නොකිරීමට විරෝධය පළකරමින්, සජිත් ප්‍රේමදාස විපක්ෂනායකයා ඇතුළු ඔහුට පක්ෂපාති කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු පසුගිය 30දා පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම වර්ජනය කළ ද අද දිනයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඔවුන් සහභාගී වනු ඇති බව වාර්තාවේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ බවට වාර්තා පළවූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් සිව්දෙනා ද අද පැවැත්වෙන රැස්වීමට සහභාගී වන බවත්, දන්නා තරමත ඒ සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නැති බවත් සජිත් පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පැවසිය.

කෙසේවුවද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුයේ, අද දිනයේ රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද තමන්ට කැඳවීමක් නොමැති බවයි. 

ලේකම් ගැන තීරණයක් !

අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එළඹෙන මහමැතිවරණයට තරගවදින ආකාරය සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන 'නෙත් නිවුස්' වෙත පවසා තිබිණ.

නව සන්ධානයේ මහ ලේකම්වරයා සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු අවසන් තීරණයක් ගෙන නොමැති බව ඔහු එහිදී සඳහන් කළේය.

ඉදිරි මහමැතිවරණයේදී නව සන්ධානයකින් තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයේ පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව තීන්දු කර තිබු අතර එහි නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට ද එකඟතාවයකට පැමිණ තිබිණ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, තමන්ට එසේ බලය ලබා දුන්නේ නම් ඊට බාධා නොකර සිටිය යුතු බවයි. ඊයේ (09) පස්වරුවේ තලවතුගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු එබව අවධාරණය කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න