Language Switcher

V2025

ණයට කාලත් හමාරයි : රට බංකොලොත් බව අගමැති පිළිගෙන !

" කොහොමද දැන් ලූනු එහෙම කනවද ? දැන් සැපද ?" පසුගිය ආණ්ඩු සමයේ  මහින්ද රාජපක්ෂ ජනතාවගෙන්  මෙහෙම ඇහුවේ ලූනු මිල රුපියල් පහකින් පමණ  ඉහළ ගිය විටය. 
ඒත් අද ලූනු මිල කීයද ? ලූනු පමණක් නොව අද අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම මිල තිබුනාට වඩා දෙතුන් ගුණයකින් ඉහළ ගිහින්‍ ය. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට පමණක් නොව අවම වශයෙන් මෙතෙක් නියමිත ආකාරයට ගෙවාගෙන පැමිණි විදෙස් ණය පොලී වාරික පවා ගෙවීමට  නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඒ වෙන කාගේවත් වරදින් නොව මේ ආණ්ඩුවේම වරදින්‍ ය.
රාජ්‍ය ආදායම් සහ මූල්‍ය ස්තාවරත්වය නොතකා ජන්ද බලාගෙන කල දේශපාලන සූදු නිසාය.
ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය ආපසු අය කර ගැනීම වසර තුනකට අත්හිටුවන්නැයි මුදල් ඇමති ලෙස අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දීය ආණ්ඩුවෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටින්නට සිදුවූයේද ඒ නිසාය. මහින්ද මේ ප්‍රකාශය කළේ  ඉන්දීය සංචාරය අවස්ථාවේ  ද හින්දු පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ය.
යම් හෙයකින් ඉන්දීය රජය එවැනි පියවරක් ගතහොත්, චීනය ඇතුළු අනෙකුත් විදෙස් රාජ්‍යයන් ද එවැනි ක්‍රියාමාර්ගයකට එකඟ වනු ඇතැයිද මහින්ද  එහිදී විශ්වාසය පළ කර සිටියේය.
 මේ සම්බන්ධයෙන් අප  වෙත අදහස් දැක්වූ ප්‍රවීන මුල්‍ය විශේෂඥයකු පැවසුවේ, ණය ආපසු අය කර ගැනීම සම්බන්ධයෙන් වෙනත් රටවල නියෝජිතයින් හා ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල නියෝජිතයින් සමග සිදුකෙරෙන අභ්‍යන්තර සාකච්ජා වලදී ශ්‍රී ලංකා රජය රාජ්‍යතන්ත්‍රීක මට්ටමින් මෙවැනි ඉල්ලීම් කර ඇතත් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කළ පළමු අවස්ථාව මෙය බවය.
මහින්දගේ ආර්ථික උපදේශක අජිත් නිවාඩ්  කබ්‍රාල් මේ උපදෙස දුන්නාද අපි දන්නේ නැත. නැත්නම් වැනසී යන ආර්ථිකයෙනුත් දේශපාලන වාසියක් ගන්න සිතා මහින්දම මේ ඉල්ලීම ප්‍රසිද්ධියේ කළාදත් අපි දන්නේ නැත.
අපිට අදාල රටේ මූල්‍ය බංකොලොත් භාවය ප්‍රසිද්ධියේ පිළිගැනීම තුළ  ඉදිරියේදී ශ්‍රී ලංකාවට බරපතල ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවීමය.
ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත මුළු ණය ප්‍රමාණය 2019 අවසානයේ රුපියල් ට්‍රිලියන 13 ක් පමණ විය. මෙම ණය හේතුවෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාව විසින් වාරික සහ පොලී ගෙවිය යුතුව ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන ආකාරයට 2020 සඳහා ණය තොගය දල දේශීය නිෂ්පාදනයේ අනුපාතයට ගත් කල  එය සියයට 91.4ක් වනු ඇත.
2019 අග භාගයේ දී ක්‍රියාත්මක කරන ලද ක්ෂණික බදු කප්පාදුවලින් පසු පැන නගින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය පිළිබඳව ප්‍රවේශම් විය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් අනතුරු අඟවා ඇත.
විගඩම් සහගත බදු කප්පාදුවෙන් පසුව, ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක්  ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාවේ මට්ටම  පහත හෙලා ඇත. මෙම කරුණු පෙන්නුම් කරන්නේ  රටේ ආර්ථිකය මුහුණ දෙන අවදානම් සහ අවිනිශ්චිතතාවයන්ය.
විශේෂයෙන්ම, විදේශ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති අවදානම වැඩි ය. 
2018 අවසානයේ දී ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය බිලියන 5959.5 ක් විය. 
ඒ, මෙසේය.
 
බහුපාර්ශ්වික ණය - රුපියල් බිලියන 1451.4 ක්,
ද්විපාර්ශ්වික ණය  - රුපියල් බිලියන 1163.3 ක්,
මූල්‍ය වෙළඳපොළ වලින් ගත් ණය - රුපියල් බිලියන 3344.8 ක් වශයෙන්ය.
2018 දී සමස්ත විදේශ ණය තොගයෙන් ඉන්දියාවේ කොටස 2.8% ක් ය.  චීනයේ කොටස 12.2% ක් ය. රටේ මුළු ණය තොගයෙන් මනිනු ලැබුවහොත්, මෙම කොටස් ඉතා සුළු ප්‍රමාණයන්ය.
දේශපාලන වාසිය ගැන පමණක් සිතා මහින්ද කරන වැඩ නිසා රට මුහුණ දෙන අර්බුදය වඩාත් උත්සන්න වන්නේද මේ තුලය.
සාමාන්‍යයෙන් රටවල් විසින් ණය ආපසු ගෙවීම තාවකාලික අත්හිටුවන්නැයි ඉල්ලා සිටීම නිතර සිදුවන්නක් නොවේය. එවැනි ඉල්ලීම් සිදුකරන්නේ 
, ආර්ථිකයේ සම්පූර්ණ බිඳවැටීමක් පෙන්වන අවස්ථා වලදී පමණය.
එනම්, ආනයන සීමා කිරීම තුළින් වියදම් කපා හැරීම හා  රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තෙක් විදේශ ණය ආපසු ගෙවීම පිළිබඳ තාවකාලික අත්හිටුවීමක් ඉල්ලා සිටීමය.
මෙවැනි ඉල්ලීමක් ප්‍රවෘත්ති වල පලවූ විට, දේශීය මෙන්ම විදේශයන්හි ඇති වෙළඳපොළවලින් ලැබෙන ප්‍රතිචාර සැබැවින්ම සෘනාත්මකය.
දැනටමත් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරන ණය හිමියන් අනාගතයේදී ණය තිරසාර බව ගැන අවිශ්වාසය තබනු ස්ථිරය.
එවිට ප්‍රතිඵලය වන්නේ , දැඩි කොන්දේසි සහිත ඉහළ පොලී අනුපාතයකට යටත්ව ණය ලබාගැනීමට අප රටට සිදුවීම ය.
ණය ගෙවීම තාවකාලිව ප්‍රමාද කිරීමට කාලය ඉල්ලා සිටීම ලොව ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන බරපතල ලෙස සලකන්නක් ය. එහි ප්‍රතිපලය, ශ්‍රී ලංකාව ණය  අපාසු ගෙවීමේදී වැඩි අවදානම් සහිත රටක් ලෙස පෙන්නුම් කිරීම සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට අදාල දර්ශක  නැවත සකස් කිරීමට ඉඩ තිබීමය.
ශ්‍රී ලංකාව ද්වීපාර්ශිකව ගිවිසුම් මගින් ණය ලබා ගෙන ඇති රටවල් ද ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමේ ඇති හැකියාව ගැන වඩාත් සැලකිලීමත් වෙනු ඇත.
 
එසේම ලෝක බැංකුව , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  වැනි ආයතන මේ තත්ත්වය බැරෑරුම් ලෙස සලකනු ඇත. ඔවුන්ට හැගෙන පරිදි රටේ ආර්ථික ප්‍රතිපත්ති සහ වැඩසටහන් වල වෙනස්කම් කිරීමට සිදුවනු නියතය.
 
පොදුවේ ගත් කල, මේ ආකාරයේ ප්‍රවෘත්ති සෑම වෙළඳපොළකම සෘණාත්මක ලෙස පිළිගනු ඇත. බංකොලොත්වූ ආර්ථික ඇති රටවල ආයෝජනය කරන්න ආයෝජකයන් එන්නේද නැත. ඉතිං, අපි බංකොලොත් කියා මහින්ද ලෝකයටම කීමේ ආනිසංසය එහෙමය. ඒ පවට කරගසන්න වන්නේ ජනතාවටය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found