එළැඹෙන මහ මැතිවරණයේදී 'සමගි ජාතික බලවේගය' යටතේ 'හංසයා' ලකුණින් ඉදිරිපත්වීමට රනිල්- සජිත් දෙපාර්ශවය එකඟතාවයට පැමිණ ඇත.
ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ ලකුණ ඇතුළු මුලික ගැටළු විසඳා ගැනීම සඳහා පත්කල එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුව ඊයේ (14) පස්වරුවේ 'සිරිකොත' එජාප මුලස්ථානයේ දී රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.
සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, අඛිල විරාජ් කාරියවසම්, රන්ජිත් මද්දුම බණ්ඩාර, ජෝන් අමරතුංග, මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, නවින් දිසානායක, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන අයගෙන් එම කමිටුව සමන්විත විය.
එක්සත් ජාතික පක්ෂය නොබෙදෙන පරිදි තීන්දුවක් ගන්නා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ ඔහුගේ පාර්ශවයේ මන්ත්‍රීවරුන්ට පුර්ව දැනුම්දීමක් සිදුකර තිබු බවත් ඒ අනුව මිට ඉහතදී දැඩි ස්ථාවරයක සිට කටයුතු කළ රවී කරුණානායක මන්ත්‍රීවරයා අද දිනයේ වඩාත් නම්‍යශීලි ආකාරයෙන් කටයුතු කර ඇති බවත් වාර්තාවේ.
රවී පක්ෂයේ බෙදීම වලක්වා ගනී !
මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ 'අලියා' ගෙන්ද? 'හදවතින්' ද? යන කාරණය සම්බන්ධයෙන් පැනනැගී තිබු අවුල විසඳා ගැනීම සඳහා 'නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ' මැතිවරණ ලාංඡනය වන 'හංසයා' ලබාදීමට එහිදී රවී කරුණානායක ඉදිරිපත්ව ඇති අතර දීර්ග කතාබහකින් පසු කමිටුවේ සියලු දෙනා ඊට එකඟතාව පළකර ඇත.
මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වෙතින් අප කළ විමසීමේදී ඔහු පවසා සිටියේ අසාර්ථක ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් සන්ධානයක් ඉදිරිපත් කිරීම තම අපේක්ෂාව වූ බවයි. ඒ වෙනුවෙන් මේ තීන්දුව ගත් බවත් දැන් සිදුකළ යුත්තේ බෙදී වෙන්වීම වෙනුවට ශක්තිමත් බලවේගයක් ලෙස ඉදිරියට යාම බවයි.
මහින්ද දේශප්‍රියට දුරකථන ඇමතුමක් !
හංසයා ලකුණ වෙත එකඟතාව ඇතිවූ අවස්ථාවේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට දුරකථන ඇමතුමක් ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකුට ඔහුව හමුවීම සඳහා වේලාවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව, සවස 5.00ට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එන්නැයි ඔහු විසින් කළ ආරාධනයට අනුව රන්ජිත් මද්දුම බණ්ඩාර හා රවී කරුණානායක එම හමුවට යැවීමට එම රැස්වීමට සහභාගිව සිටි සියලුදෙනා තීන්දු කර ඇත.
ඒ අනුව රැස්වීම වහාම අත්හිටුවා ඔවුන් දෙදෙනා එකම වාහනයකින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය බලා පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වෙයි.
අද 'සිරිකොත' පැවති සාකච්ඡාවට එක්වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සඳහන් කළේ සාකච්ඡා ඉතාමත් සාර්ථක වූ බවයි.

