මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව : ඇමරිකාවෙන් හමුදාපති ශවේන්ද්‍රට බාල්දියක් !

මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව : ඇමරිකාවෙන් හමුදාපති ශවේන්ද්‍රට බාල්දියක් !

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී යුද හමුදාවේ 58 වෙනි සේනාංකය විසින් මානව හිමිකම් කඩකරන ලදැයි එල්ල වූ චෝදනාවලට අදාළව එම සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රසිද්ධියේ නම් කරන ලද බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ 58 වෙනි සේනාංකය විසින් අධිකරණමය ක්‍රියාදාමයකින් තොර මනුෂ්‍ය ඝාතන ආදී බරපතල මානව හිමිකම් කඩකිරීම්වලට අදාළව එහි අණදෙන්නාගේ වගකීම හරහා ශවේන්ද්‍ර සිල්වාගේ ඇති සම්බන්ධය පිළිබඳ විශ්වාසදායී තොරතුරු හේතුවෙන් විදේශ මෙහෙයුම් සහ ඒ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (c) වගන්තිය ප්‍රකාරව මේ පියවරට එළඹුණු බවය.

ඒ අනුව විදේශ නිලධාරින් බරපතල මානව හිමිකම් කඩකිරීම් හෝ සැලකිය යුතු දූෂණවල යෙදී ඇතැයි යන්න ගැන විශ්වාසදායී තොරතුරු රාජ්‍ය ලේකම්වරයා සතු වන විට එවැනි පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ එක්සත් ජනපදයට ඇතුළුවීමට සුදුසුකම් නොලබති. එම නීති ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රාජ්‍ය ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව නම් කරනු ලැබේ. ඒ අනුව, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අමතරව ඔහුගේ පවුලේ සාමාජිකයෝ ද නම් කරනු ලැබ සිටිති.

කෙසේ වෙතත්, යුද්ධයේ අවසන් අදියරේ දී මානව හිමකම් උල්ලංඝනය කරන ලද බවට නැගෙන චෝදනා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.

 110911612 1005f110 1934 4acf a23a 21ab850a7a17

බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් සංවිධාන විසින් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ලේඛනගත කරන ලද චෝදනා බරපතල මෙන්ම විශ්වාසදායී බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

"ඔහුව නම් කිරීම තුළින්, ශ්‍රී ලංකාවේ හා ගෝලීය වශයෙන් වූ මානව හිමිකම්, මානව හිමිකම් හා අපයෝජන සම්බන්ධයෙන් දඬුවම් නොලබා සිටීම කෙරෙහි අපගේ සැළකිල්ල මෙන්ම එවැනි ක්‍රියාවල නියුතුවූවන් වගවීම ප්‍රවර්ධනයට අපගේ ඇති සහයෝගය සම්බන්ධයෙන් අප දී ඇති වැදගත්කම අවධාරණය කෙරෙනවා." යැයි එම දෙපාර්තමේන්තුව කියා සිටී.

එසේම, "මානව හිමිකම් ප්‍රවර්ධනය කරන ලෙසත්, යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයට වගකිවයුත්තන් වගවීමේ රඳවන ලෙසත්, ආරක්ෂක ක්ෂේත්‍රයේ වැඩිදියුණුව හා යුක්තිය හා සංහිදියාව කරා යාමේ අනෙකුත් කැපවීම් රඳවාගන්නා ලෙසත් අප ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා." යනුවෙන්ද පවසයි.

ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරගැනීමට එක්සත් ජනපදය තවදුරටත් කැපවී ඇතැයි පවසන රාජ්‍ය දෙපාර්තමේන්තුව, පවතින හා මතුවෙමින් ඇති තර්ජනවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා හැඩගැස්වීමට සහය දෙන බවද කියා සිටී.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවක මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු 19 වෙනිදා ය.

එම පත්කිරීම සම්බන්ධයෙන් සිය "දැඩි අවධානය" යොමුවී ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය එදින පැවසු අතර කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, "විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාව අතිශය වැදගත් වන අවස්ථාවක, අදාළ පත්වීම ශ්‍රී ලංකාවේ කීර්තිනාමය, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලුවට ලක් කරයි," යනුවෙනි.

  110911607 8a0023db 549b 4ddc b71b 66b4cc6878e1

ඊට පසුදින එනම් අගෝස්තු 20 වෙනිදා රටවල් හයක දූත මණ්ඩලවල එකඟතාව ඇතිව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ යුරෝපා සංගමය, මේ පියවර නිසා "සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බව" පැවසීය.

එසේ මතුවෙමින් ආ ජාත්‍යන්තර ප්‍රතිචාරවලට පිළිතුරක් දෙමින් අගෝස්තු 20 වෙනිදා නිවේදනයක් නිකුත් කළ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ, "විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක්" බවය.

"චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කනගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ" යනුවෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න