දෙමළ පීඩිතයන් “මකා දැමූ” එජා මානව හිමිකම් ප්‍රධානීට දැඩි අභියෝගයක්

දෙමළ පීඩිතයන් “මකා දැමූ” එජා මානව හිමිකම් ප්‍රධානීට දැඩි අභියෝගයක්

ණ්ඩුවට “දැඩි ලෙස පක්ෂපාතී වෙමින්” පීඩාවට පත්වූවන් “මකා දැමූ” වාර්තාවක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීම ගැන සියයකට අධික දෙමළ පීඩිතයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත තම වේදනාව හා කෝපය ලිඛිතව දන්වා යවා තිබේ.

මහකොමසාරිස් මිචෙල් බැෂලේ වෙත විරෝධය පලකරන සංදේශ දෙකක් ලියා ඇත්තේ රට තුළ මෑතදීත් ගොදුරු වූව ද හිංසාවෙන් බේරී පලා’විත් විදේශගතව සිටින පිරිසක් සහ උතුරුකරේ වෙසෙන අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් සමූහයක් විසිනි.

වධහිංසා තවදුරටත්

ඉකුත් වසර තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව අලලා මහකොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවේ රට තුළ අදත් සිදුවන වධබන්ධන ගැන සඳහන් නොකිරීම ගැන මහත් කනගාටුව පලකරන ලිපියක් ලියන විදේශගත පීඩිතයෝ සිය කඳුළැල් සහ තුවාල කැළැල් සියැ’සින්ම දැක බලාගැනීමට පැමිණෙන ලෙස ඇය කැඳවා සිටිති.

ලිපියට අත්සන් තබා ඇති එක් අයකු අත් අඩංගුවේදී වධ හිංසාවට ගොදුරුවී ඇත්තේ මේ මාසයේදීය.

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වැනි සැසිවාරයට ගතවූ අවුරුද්දේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ මහ කොමසාරිස් මිචෙල් බැෂලේ ද සිය මාතෘභුමිය වූ චිලියේදී වධහිංසාවට ගොදුරු වූ තැනැත්තියකි. පසුව ඇය එරට ජනාධිපති ධුරයට තේරී පත්වූ ප්‍රථම කාන්තාව ලෙස වාර්තාවක් ද තැබුවාය.

වාර්තාවේ දෙතැනක පමණක් ශ්‍රී ලංකාවේ ‘අතීත’ වධබන්ධන පිළිබඳව සඳහන් කරන ඇය පසුගිය වසරේදී ආරක්ෂක අංශ විසින් වධහිංසාවට පාත්‍ර කරන ලද්දවුන් ගැන එහි නොකියයි..

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඔබ විසින් මේ සතියේ දෙන ලද වාර්තාව [A/HRC/43/19] අපට මහත් වේදනාවක් හා සන්තාපයක් ගෙන දුන්නකි; ඔබ විසින් අප ඉතිහාසයෙන් මකා දමා තිබේ,” යි විදේශගතව සිටින වද වින්දිතයන් හතලිස් දෙනකු මානව හිමිකම් ප්‍රධානී වෙත යවන ලද කම්පා සහගත සංදේශයේ දැක්වේ.

ජීවමාන සාක්ෂි

“මේවා 2019 දීත් තවමත් සිදුවන බව ඔබ දැන සිටිය යුතුය. අපි ඒ ගැන ජීවමාන සාක්ෂි දරන්නෝ වෙමු. එහෙත් මේ අවුරුද්දේ ඔබ ඒ ගැන කිසිත් සඳහන් කළේ නැත.”

“කිසියම් හේතුවකට හෝ ඔබ අප විශ්වාස නොකරන්නේ නම්, - එය ඉතාම වේදනාකාරී වෙයි - කරුණාකර ඔබම පැමිණ අපේ කඳුළැල් හා තුවාල කැළැල් දැක බලාගන්න.”

මානව හිමිකම් මණ්ඩලයට වසරකට ඉහතදී ලබා දුන් වාර්තාවෙන් මහකොමසාරිස් බැෂලේ අවධාරණය කළේ බරපතල මානව හිමිකම් උල්ලංඝන නොකඩවා සිදුවන බව ය.

“ලැබී ඇති තොරතුරු පිළිබඳ මූලික විග්‍රහයෙන් පෙනී යන්නේ, නීති විරෝධී පැහැර ගැනීම් සහ සිරගතකිරීම්, පිරිමින් සහ ගැහැනුන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු වධ හිංසා, පිළිබඳ සාක්ෂි විශ්වසනීය බවට පිළිගැනීමට යුක්ති සහගත හේතු ඇති බව සහ එවැනි කටයුතු ශ්‍රී ලංකාවේ උතුරේ දිගටම සිදුවෙමින් පැවතිය හැකි බවයි,” යනුවෙන් පසුගිය මාර්තු වාර්තාවේ දැක්වෙයි.

ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ජයසූරිය

එහෙත්, තවමත් සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝනවලින් පීඩාවට පත්වන්නන් ලෙස දෙමළ ජනතාව පිළිබඳව මහකොමසාරිස්වරිය මෙවර වාර්තා නොකිරීම උතුරේ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ දැඩි කෝපයට හේතුවී තිබේ.

“බරපතල මානව හිමිකම් උල්ලංඝනවලට ගොදුරු වන පීඩිතයන්ගේ දෙමළ අනන්‍යතාව වාර්තාවෙන් මකා දැමීම විශේෂිතය,” යි අතුරුදහන් වුවන්ගේ ඥාතීන් 85 දෙනකු විසින් අත්සන් තබා ඇති සංදේශය පවසයි.

ආණ්ඩුව විසින් පිහිටුවා ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) ට මහකොමසාරිස්වරිගේ මහත් ප්‍රශංසාවට පාත්‍ර වීමද ඥාතීන්ගේ දැඩි ප්‍රහාරයට ගොදුරු වී තිබේ.

“අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ‘වැදගත් මුලපිරීම්’වලට අතගසා ඇති බව ඔබ ලියා තිබේ. ඒ මොනවාදැයි දැනගැනීමට පීඩාවට පත් ප්‍රජාවක් ලෙස අපි කැමැත්තෙමු. 2009 මැයි 18 වැනිදා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෝ ජෙනරාල් ජගත් ජයසූරිය හමුවේදී භාරවූ අපේ ඥාතීන්ට සිදුවුනේ කුමක්දැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබේද?”

ශ්‍රී ලංකාව පිළිබඳ මහකොමසාරිස්වරියගේ වාර්තාව පෙබරවාරි 27 වැනිදා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනීමට නියමිත ය.☐

© JDS

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න