හිටපු ජනාධිපතිවරයාගේ උකුස්සා කතාවෙන් පසු පොහොට්ටු පාක්ෂිකයන් කැළඹී සිටින බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
2015 වසරේ කළ දේම යළිත් කරමින් සිටින අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කර අවසාන බවයි ඔහු සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි වී සිටින කිහිප දෙනා දැන් තීරණයකට එළඹිය යුත්තේ එවැනි නායකයෙක් සමඟ තවදුරටත් ඉදිරියට යා හැකිද යන තීරණයට බව හෙතෙම කියා සිටියේය.
2015 වසරේ සිට මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළේ රට පාවා දීම බව ඔහු පැවසීය.
"රට විනාශ වෙන දේවල් සිදු වුණේ ඔහුගේ නායකත්වයෙන්. ඒවයෙන් ඔහුට ගැලවෙන්න බැහැ අපිත් සමඟ එකතු වුණා කියලා. ඊළගට උකුස්සාගේ කතාවෙන් අපේ පාක්ෂිකයෝ කැළඹිලා ඉන්නේ. ඒක පොළොන්නරුවට කිව්වත් එකයි රටට කිව්වත් එකයි. එයා 2015 කරපු දේම තමයි ඉදිරියේ කරන්න යන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා ඉවරයි. ඉන්න කීප දෙනා හරි තීන්දුවක් ගන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔය මට්ටමෙන් හරි ගෙනියන්න මේ වගේ නායකයෙක් එක්ක පුලුවන්ද කියන කාරණය."
ප්‍රසන්න රණතුංග මෙම අදහස් පළකළේ ගම්පහ කිරිල්ලවල වෑබොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

