රනිල්ගේ ආණ්ඩුවට අපේ සහය නෑ - අමාත්‍ය ඩිලාන්

රනිල්ගේ ආණ්ඩුවට අපේ සහය නෑ -  අමාත්‍ය ඩිලාන්

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය හොබවන ආණ්ඩුවක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය කිසි ලෙසකින් හෝ නොලැබෙන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

යෝජිත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ මාධ්‍ය කළ විමසුමකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එසේම මේ පිළිබඳ ප්‍රකාශයක් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලද සිදුකර ඇත. එහිදී නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රීලනිප සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රී පාර්ශවයේ කිසිඳු සහයක් එජාප ආණ්ඩුවකට ලබානොදීමට තීරණයක් ගෙන ඇති බවය.

එජාප ආණ්ඩුවට යන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ

මේ අතර එක්සත් ජාතික පක්ෂය පිහිටුවන තනි ආණ්ඩුවක් සඳහා සහය පළකිරීමට එකතුවන ශ්‍රීලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කිසිවෙකුට අමාත්‍යධුර ලබානොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇති බව ජනාධිපති උපදේශකයකු සඳහන් කළ බවද වාර්තා වෙයි.

ජවිපෙ සහ TNA තීරණාත්මකයි

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් 2015 මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව පාර්ලිමේන්තුව තුළ සිදුවිය හැකි බල තුලනය වන්නේ එක්සත් ජාතික පක්ෂයට ආසන ධුර 106ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූයේ ආසන ධුර 95ක් ලෙසය.

ඒ අතරින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරු 52ක් ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරයි.

දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුව තුළ හිමිව ඇති මන්ත්‍රි ධුර සංඛ්‍යාව 16ක් වන අතර ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 6ක් හිමිව ඇත. එසේම ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ ඊපීඩීපී පක්ෂයට එක් මන්ත්‍රි ධුරයක් බැගින් පාර්ලිමේන්තු අසුන් හිමිව ඇත.

ආණ්ඩුවක් හදන්න එජාපයට මන්ත්‍රීධුර 6ක් අඩුයි

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තවත් මන්ත්‍රීවරු 6 දෙනෙකුගේ සහය අවශ්‍යව පවතී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න