Language Switcher

V2025

ආණ්ඩුවේ පරාජයට හේතුව ජනපතිගේ අත්තනෝමතික හැසිරීමයි

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ පාර්ශවය ලැබූ බරපතල දේශපාලන පසුබෑමට හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්තනෝමතික හැසිරීම බව අද (13) පැවති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී බරපතල ලෙස විවේචනයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

අද (13) අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව සිදුවූ අතර ජනාධිපතිවරයා මැතිවරණයේ අවසාන දින කිහිපයේදී කටයුතු කළ ආකාරය සම්මුති ආණ්ඩුවේ ප්‍රධානියාට කිසිසේත්ම නොගැළපෙන බවත්, ඉතාම නොසුදුසු ආකාරයට මැතිවරණයේ අවසන් දිනවල ජනාධිපතිවරයා ජාතිවාදය පවා අවුස්සන තැනට පවා ඇද වැටුණු බවට එජාප මැති ඇමතිවරු අදහස් පලකර ඇති බවද වාර්තා වෙයි.

පාර්ලිමේන්තු කණ්ඩායමේ සෘජු මතය විමසයි

මෙම විශේෂ හමුව අද (13) කැඳවා තිබුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව උද්ගතව තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සෘජු අදහස් ලබාගැනීම සඳහාය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන දෙතුන් දෙනෙකු හැර අනෙක් සියළු මැති ඇමතිවරු මෙම අවස්ථාවට සහභාගීවී ඇත. එහිදී පළමුව අදාළ විශේෂ හමුව කැඳවීමේ අරමුණ එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම පැහැදිළි කර ඇත.

අරමුණ පැහැදිළි කළේ ඇමති මලික්

එහිදී මැතිවරණයේ ප්‍රතිලය මත අග්‍රාමාත්‍යවරයා වෙනස් විය යුතු බවට යෝජනාව පළමුව ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු කිහිපදෙනෙක් බවට එම පාර්ශවයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවත් එහෙයින් පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුව තුළ එම කාරණය ඇතුළුව ප්‍රශ්න සියල්ල විසඳාගැනීමේ අපේක්ෂාවෙන් අදාළ විශේෂ හමුව කැඳවුණු බව අමාත්‍ය මලික් සඳහන් කර ඇත.

පසුව මතුව ඇති දේශපාලන තත්ත්වය හමුවේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමේ තීරණයක් පක්ෂ නායකත්ව මණ්ඩලය ගෙන ඇති බවත් ඒ පිළිබඳ විරෝධතා ඇත්නම් සාකච්ඡා කළ හැකි බවද අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන් කර ඇත.

කොළ ආණ්ඩුවක් හදමු : පාර්ලිමේන්තු කණ්ඩායම එකඟයි

එම යෝජනාවට සමස්ථ පාර්ලිමේන්තු කණ්ඩායම එකඟතාව පළකර ඇති බවත් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන් එකිනෙකා තම තමන්ගේ අදහස් දක්වා ඇත.

මැති ඇමතිවරුන් අතින් ජනාධිපතිව බරපතල විවේචනයට

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පාඨලී චම්පික රණවක, පලනී දිගම්බරන්, රවුෆ් හකීම්, විජයකලා මහේෂ්වරන්, විජයපාල හෙට්ටිආරච්චි ඇතුළු මැති ඇමතිවරු රැසක් එහි පළමු අවස්ථාවේ අදහස් දක්වා ඇත.

එහිදී ඔවුන්ගේ ස්ථාවරය ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ මැතිවරණයේ අවසන් දින කිහිපය තුළ ජනාධිපතිවරයා සිය සීමාව ඉක්මවා කටයුතු කළ බවත් එහිදී ඔහු අතින් විවේචනය වන්නේ තමන්ම නායකත්වය දෙන යහපාලන සම්මුති ආණ්ඩුව බව අමතකවූ බවක් පෙනෙන්නට තිබූ බවය.

ජනාධිපතිවරයාව කිසිම හේතුවක් මත විවේචනය නොකිරීමටත් හැකි සෑම විටම යහපාලන සම්මුති ආණ්ඩුව රකින ලෙසටත් පක්ෂය ලබාදුන් තීන්දුව හේතුවෙන් පක්ෂයට එරෙහිව නැගුනු චෝදනාවන්ට නිසි පිළිතුරු සැපයීමට නොහැකිවීමද පක්ෂයේ දේශපාලන පසුබෑමට හේතුවූ බවද ඔවුන් පෙන්වාදී ඇත.

ජාතිවාදයටත් ඇද වැටිලා

එසේම එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ සුළු ජාතික නියෝජිතයන් පෙන්වාදී ඇත්තේ ජනාධිපතිවරයා සමහර අවස්ථා වලදී ජාතිවාදී ස්ථාවරයකට පැමිණ ඇති බවක් පෙන්නුම් කළ බවත් එහි වාසිය අවසානයේ රාජපක්ෂ පාර්ශවයට ලැබී ඇති බව මැතිවරණ ප්‍රතිඵල හරහා පෙන්නුම් කරන බවය.

අගමැති අයින් වෙන්න නම් ජනාධිපතිත් අයින් වෙන්න ඕන

අනතුරුව අමාත්‍ය වජිර අබේවර්ධන ඊට තම අදහස් එක්කරමින් සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ඇතුළුව එජාප නායකයින් සෘජුව ඉලක්ක කර ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ පාර්ශවයක් අද්භූත චෝදනා නැගු පසුබිමක 30%කට අධික ජන්ද ප්‍රතිශතයක් ගැනීම වැදගත් බවය. එසේම 30%ක ජන්ද ප්‍රතිශතයක් ලැබීම පදනම් කරගෙන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට යෝජනා කරනවා නම් ඒ සමඟ 13%ක ජන්ද ප්‍රතිශතයක් ලබාගත් ජනාධිපතිවරයාද ඉල්ලා අස්විය යුතු බව වජිර අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

මෙහිදී මංගල සමරවීර අමාත්‍යවරයාද සිය අදහස් දක්වා ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මැතිවරණ පරාජයේ මුලික වගකීම ජනාධිපතිවරයා බාරගත යුතුව ඇති බවය.

ජනාධිපති සමඟ සාකච්ඡාවට කැබිනට් සාමාජිකයන්

ඒ අනුව එජාප තනි ආණ්ඩුවක් වෙනුවෙන් වන යෝජනාව එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකජන්දයෙන් අනුමත කරගෙන ඇති අතර පසුව තම තීරණය සමුහයක් ලෙස ජනාධිපතිවරයා හමුවී දැනුම්දිය යුතු බවටද යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

එහෙත් ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ පාර්ශවය දැනුම්දී ඇත්තේ සමස්ථ පාර්ලිමේන්තු කණ්ඩායමට රැස්වීමට තරම් පහසුකමක් ජනාධිපති නිල නිවසේ නොමැති බවත් ඒ හේතුවෙන් රාත්‍රී හමුව සඳහා කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරුන් පමණක් සහභාගී වන ලෙසය.

ඒ අනුව පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණය ජනාධිපතිවරයාට සැලකිරීමේ අවස්ථාව සිය කැබ්නට් මණ්ඩල සාමාජිකයන්ට පැවරීමට පොදු එකඟතාවක් මත එම විශේෂ රැස්වීම අවසන් වූ බවද එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

වාර්තා වන ආකාරයට මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් සාමාජිකයන් සහ ජනාධිපතිවරයා අතර ජනාධිපති නිල නිවසේ සාකච්ඡාව සිදුවෙමින් පවතී.