ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නීතිපතිවරයාට පැවරී ඇති කාර්යභාරය ප්‍රශ්න කිරීමට කිසිදු නෛතික බලයක් දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කොමිෂන් සභාවට නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා දන්වා ඇත.
ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ නීතිපතිවරයාට මාර්තු 11 දින පෙනී සිටින ලෙස එම කොමිසම කර තිබූ දැනුම්දීමට ප්‍රතිචාර වශයෙනි.
ජනාධිපති කොමිසම එම දැනුම්දීම නීතිපතිවරයාට කර තිබුණේ එම කොමිසමේ ලේකම් පර්ල් කේ. වීරසිංහ මහත්මියට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන වැඩ තහනමට ලක්වූ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විත්තිකරුවකු වන අලි නඩුවේ සාක්ෂිකාරියක ලෙස නම් කිරීම ගැන කරුණු දක්වන ලෙස කර තිබූ දැනුම්දීම අනුවය.
ත්‍රිපුද්ගල මහාධිකරණය ජනාධිපති කොමිසමේ ලේකම්වරියට දැනුම් දී තිබුණේ එම අලි නඩුවට අදාල දැනට ජනාධීපති කොමිසම හමුවේ ඇති විමර්ශන ලිපිගොනු හා සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. පර්ල්. කේ වීරසිංහ මහත්මීය ඒ අනුව අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඇයට වරෙන්තු නිකුත් කර තිබුණි.
නීතිපතිවරයා හා ඔහුගේ නිලධාරීන් මහාධිකරණය ඉදිරියේ ඔවුන්ට නීති ප්‍රකාරව පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම අනලස්ව ඉටු කළ යුතු බවත්, එය ජනාධිපති කොමිසමකට අපහාස කිරීමක් ලෙස සැලකිය නොහැකි බවත් නීතිපතිවරයා එහි දක්වා ඇත.
කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාල ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරිය අධිකරණය හමුවේ පෙනී සිටිමින් අධිකරණය ඉල්ලූ විමර්ශන ගොනු ලබාදීමට එකඟතාව පළකර ඇත.
මෙහිදී ප්‍රශ්නය වන්නේ ජනාධිපති කොමිසම හෝ වෙනත් විමර්ශන ආයතනයක් යම් විමර්ශනයක ලිපිගොනු එහි කටයුතු සඳහා ඉල්ලිමේදී මුල් ලිපිගොනුවම ලබාදෙනවාද යන්නය. හරි නම් කළ යුත්තේ සහතික පිටපතක් ලබාදීමය. මෙසේ මුල් ලිපිගොනුව ලබා දෙන්නේ ඒ සම්බන්ධයෙන් වු නීති කටයුතු ඇණහිටුවීමට බව පැහැදිලිය. මුල් ලිපිගොනුව ලබාදීමේ මේ වරද නොකිරීම පොලීසිය පමණක් නොව අල්ලස් කොමිසම, රේගුව ආදි අනෙක් විමර්ශන ආයතනද සිතට ගත යුතුය.
අනිද්දා

