එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකත්වය යටතේ කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වෙන බාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් ජනාධිපතිවරයා වෙත එකඟතාව ලැබී ඇතැයි වාර්තා වෙයි.
ඊයේ සවස එජනිස අමාත්‍යවරුන් සහ මන්ත්‍රිවරුන් හමුවී කළ සාකච්ඡාවෙන් පසුව ආණ්ඩුවක් සඳහා යෝජනාක් ඉදිරිපත් වී තිබෙන බවත්, එම තීරණය මහින්ද රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ පක්ෂ නායකයිනට දැනුම් දුන් පසුව කොන්දේසි කිහිපයකට යටත්ව එකඟතාව ලැබී තිබේ.
ඒ අනුව කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලැබෙයි නම් සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ යම් එකඟතාවයක් ඇතිවී තිබේයැයි වාර්තා වෙයි.
අස්ථාවර දේශපාලන වාතාවරණයක්:
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ලැබීමත් සමග අස්ථාවර දේශපාලන වාතාවරණයක් රටතුළ නිර්මාණය වූ අතර, යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක සහ මැතිවරණයේදී වැඩි පාලන බලයක් ලැබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලවත් වීම, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් හා ඇමතිවරුන් යහපාලනය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කිරිමත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස කටයුතු කරන ආණ්ඩුවක සිටීමට අකමැතිවන දැන්වීමත් නිසා දේශපාලන අර්බුධයක් ඇතිවිය.
මේ හේතුවෙන් ස්ථාවර ආණ්ඩුවක් සහ අගමැතිවරයෙකු පත්කරගැනීමට නොහැකිවී තිබේ.
එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයේ බලය සහ එජාප නායකත්වය රැකගැනීම සඳහාත්, එජාප ආණ්ඩුවක් පත්කර ගැනීම සඳහාත් කටයුතු කිරීම තුළ ජනාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සමග විවිධ මට්ටමේ සාකච්ඡා වාර ගණනාවක් පැවැත්විණි.
රනිල් සමග ගමනක් නැහැ !
ඊයේ සවස යහපාලන ආණ්ඩුවේ කොටසම්කරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්දානයේ ඇමතිවරුන් හා මන්ත්‍රිවරුන් යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දුන්හ.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය දරන කිසිදු ආණ්ඩුවකට තමන් සහයෝගය නොදක්වන බවද ඔවුහු දන්වා සිටියහ.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්
මේ අතර ඊයේ දිනය තුළදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හා මන්ත්‍රීකණ්ඩායම රැස්වී පැවැත්වූ එවැනි විශේෂ සාකච්ඡාවකදී ප්‍රධාන තීන්දු දෙකක් ගෙන තිබේ.
රටේ තිබෙන වත්මන් දේශපාලන තත්ත්වයන් සලකා බලා රටේ ජාතික දේශපාලනය තුළ අගමැතිවරයෙකු පත්කිරීම හා රටේ පාලන බලය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් රටේ වරාය, තෙල්ඇතුළු සම්පත් විකිණීම, ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි රටට මාරාන්තික අහිතකර කරුණු ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන බැවින් එය පරාජය කළ හැකි ක්‍රියාමාර්ග ගැනීම එම කමිටුවට පවරා තිබේ.
එසේම එජාපයේ තනි ආණ්ඩුවක් නිර්මාණය කළහොත් එම උත්සහය පරාජය කිරීම සඳහා එජනිස මන්ත්‍රි කණ්ඩායම සමඟ සන්ධානගත වීමටද අවශ්‍යනම් කටයුතු කිරීමටද මෙහිදි සාකච්ඡා කර තිබේ.
රටේ ආර්ථිකය හා ඉදිරි ගමන පසුපසට :
එසේම එම සාකච්ඡාවේදී ගනු ලැබූ දෙවැනි තීරණය වූයේ පොදුජන පෙරමුණට ලැබී තිබෙන ගමේ බලය රඳවා ගැනීම සඳහා නිවැරදි නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා අනෙකුත් පත්කරගැනීම් සිදුකිරීම සඳහා චමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු කමිටුවක් පත් කරගැනීමය.
මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය රටේ බලතුලනය පිළිබදව වෙන වෙනම සාකච්ඡා පවත්වමින් සිටිති.
මේ හේතුවෙන් මැතිවරණයෙන් පසුව ගතවූ දින හතරක කාලය තුළ රට අරාජික තත්ත්වයකට පත්වී තිබෙන අතර, මෙම සාකච්ඡවල අරමුණ විය යුත්තේ මෙම අරාජිකත්වය වළක්වා ගැනීමය. එසේ නොවුනහොත් රටේ ආර්ථිකය මෙන්ම ඉදිරි ගමනද පසුපසට යෑම වැළැක්විය නොහැකිය.

