පොහොට්ටු රතු එළි හමුවේ : දයාසිරි තනියම සටනේ !

පොහොට්ටු රතු එළි හමුවේ : දයාසිරි තනියම සටනේ !

අද (18) දිනය තුළ පොදුජන පෙරමුණ යටතේ නාම යෝජනා ලැයිස්තුවට අත්සන් තැබීමට කටයුතු නොකළහොත් වෙනත් නමක් ඇතුළත්කර නාම යෝජනා අත්සන් තැබීම අවසන් කරන බව පොදුජන පෙරමුණ ප්‍රධානින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර වෙත දන්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අනුව අද පස්වරු 4.00 ට පෙර පොදුජන පෙරමුණ යටතේ තරග කරනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීමට ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර වෙත සිදුව ඇත.
 
මේ සම්බන්ධව newstube.lk  දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහ ලේකම් ලෙස පෞද්ගලික කරුණක් වෙනුවෙන් නොව පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් පොදුජන පාර්ශවය වෙතින් ඉල්ලීමක් සිදුකර ඇති බවත් ඊට යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් මෙතෙක් නාම යෝජනා අත්සන් තැබීම සම්බන්ධව තීරණයක් ගෙන නොමැති බවය.
 
එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ඉල්ලා ඇත්තේ පොදුජන පෙරමුණේ  කුරුණෑගල දිස්ත්‍රික් නාම යෝජනා ලයිස්තුවේ මේ වන විට අපේක්‍ෂකත්ව අවස්ථාව ලබාදී ඇති දයාසිරි ජයසේකර සහ ශාන්ත බණ්ඩාර යන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව තවත් එක් ශ්‍රීලනිප අපේක්ෂකයකු හට අවස්ථාව ලබාදිය යුතු බවය. 
 
පොදුජන පෙරමුණ ප්‍රධානීන් මෙතෙක් අනුමැතිය ලබා නොදී කල් මරමින් සිටින්නේද එකී යෝජනාවය. ඒ අනුව ලැබෙන නවතම ආරංචිමාර්ග සඳහන් කරන්නේ ශ්‍රීලනිප මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ මේ ඉල්ලීම ලබාදීමට පොදුජන පෙරමුණ ප්‍රධානීන් කටයුතු නොකළහොත් පාක්ෂිකයන් පාවානොදී පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තීන්දුවක් ගැනීමේ සූදානමක දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා පසුවන බවය.
 
ඒ අනුව තීන්දුව වී ඇත්තේ පොදුජන පෙරමුණ යටතේ තරග කිරීම වෙනුවට කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අත ලකුණ යටතේ තනිව තරග කිරීමය.
 
ජනාධිපති මැදිහත් වෙයි : දුමින්ද - වීරකුමාර - අලගියවන්න ගේ ඉල්ලීම් ඉටුවෙයි !
 
මේ අතර ලබාදී ඇති අපේක්ෂක ධූර ප්‍රමාණයට අමතරව තවත් එක් අපේක්ෂක ධූරයක් වෙනුවෙන් අනුරාධපුර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් වන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක සහ ලසන්ත අලගියවන්න විසින් ඉල්ලා තිබූ අතර එම ඉල්ලීම වෙනුවෙන් පසුගිය කාලය පුරා පොදුජන පෙරමුණ ප්‍රධානීන් එය ප්‍රතික්ෂේප කර තිබිණ.
 
ඒ අනුව ශ්‍රීලනිපයේ බහුතරය විසින් තීන්දු කර සිටියේ පොළොන්නරුව, හම්බන්තොට,වැනි දිස්ත්‍රික්ක කිහිපයක හැර අනෙක් සියලු දිස්ත්‍රික්ක වල ශ්‍රීලනිපය ලෙස අත ලකුණින් තනිව තරග කරන්නටය. පසුගිය සමයේ ඒ සම්බන්ධව තීන්දුව ගැනීමට පෙර පොහොට්ටු ප්‍රධානීන් සමඟ තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට සුදානම්  කෙරුණත් පොහොට්ටු ප්‍රධානීන් එම අවස්ථා මගහරිනු ලැබූ බවටද තොරතුරු වාර්තා විය. 
 
නමුත් ඊයේ (17) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැදිහත්වී එම ප්‍රශ්නය විසඳාදීමට කටයුතු කර ඇති අතර තම ඉල්ලීම් ඉටුවූ බැවින් ඒ  අවස්ථාවේ අදාළ නාම යෝජනා අත්සන් තැබීමට දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක සහ ලසන්ත අලගියවන්න ඇතුළු පිරිස එකඟතාව පළකර ඇත.
 
කුරුණෑගල ප්‍රශ්නය විසඳන්න ජනාධිපතිටත් බැරිවෙලා !
මේ සම්බන්ධව ලැබෙන දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසා සිටින්නේ දිස්ත්‍රික්ක කිහිපයක නාම යෝජනා ලැයිස්තු සංශෝධනය කිරීමට මැදිහත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට හැකි වුවත් කුරුණෑගල ප්‍රශ්නය විසඳන්න තවමත් ඔහුටද දුෂ්කර වී ඇති බවය. ඒ අනුව බොහෝ දුරට ශ්‍රීලනිපය අත ලකුණ යටතේ තරග කිරීමට සූදානම් කර ඇති දිස්ත්‍රික්ක ලැයිස්තුවට කුරුණෑගල දිස්ත්‍රික්කය ද ඇතුළත් වනු ඇති බවත් වාර්තා වෙයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න