කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම වෙනුවෙන් අධි අවධානම් කාලයක් ලෙස නම් කර ඇති පුත්තලම දිස්ත්‍රික්කය සහ කොච්චිකඩේ ආවරණය වන ආකාරයට අද (18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති නමුත් එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබේද යන්න සැකසහිත බවට මත පළවෙමින් තිබේ.
ඒ පොලිස් ඇඳිරි නීතිය යටතේ පවා තිබුණත් මහ මැතිවරණ නාම යෝජනා ලබාදීමට සහ පොදු ප්‍රවාහන සේවා කටයුතු පොලිස් ඇඳිරි නීතිය හමුවේ බාධාවකින් තොරව සිදුකරගෙන යාමට ඉඩතබා ඇති නිසාය.
මේ බව ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධ පොලිසිය විසින් නිකුත්කර ඇති නිවේදනයේ පැහැදිළිව දක්වා තිබේ.
පොදු ප්‍රවාහන සේවා වැඩ නම් ඇඳිරි නීතිය කාටද ?
මේ සම්බන්ධව විමසීමක් සහ බලධාරීන්ගේ අවධානයට යොමුකරන ලෙස පාර්ශව කිහිපයක්ම දන්වා සිටි අතර ඊට අදාළ ඔවුන්ගේ ස්ථාවරය මෙසේය.
සීමිත පිරිසක් වෙත නාම යෝජනා ලබාදීමේ අවස්ථාව සඳහා ඉඩ ලැබෙන බැවින් එහිදී කොරෝනා වෛරසය ව්‍යාප්තවීමට ඉඩක් නොමැති බව ඇතැමුන්ගේ අදහස වී තිබේ. විශේෂයෙන් ආණ්ඩු හිතවාදී පාර්ශව මේ බව උපුටා දක්වයි. එසේම කොරෝනා පාලනය සහ මහ මැතිවරණය කෙසේ හෝ පවත්වා ගැනීම යන දෙකම එකට කර ගැනීමේ අසාර්ථක උත්සාහයක් ගැනෙමින් තිබෙන බවත් පෙනෙන්නට ඇත.
ප්‍රශ්නය ඇත්තේ නාම යෝජනා ලබාගැනීමේ කටයුතු හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට පොදු නිවාඩුව ලබානොදීම හමුවේ ඒවායේ සේවය කරන සියලු රාජ්‍ය සේවකයන්ට රාජකාරි සඳහා වාර්තා කිරීමට සිදුව තිබීමය. එසේම හේතුවක් පැහැදිළි නැති නමුත් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතද පොදු නිවාඩුව ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නොමැත. ඒ පසුබිමේ රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙකු සේවය වෙනුවෙන් යාමට ඒමට භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවා නිසා පොලිස් ඇඳිරි නීතිය යටතේ පවා එම සේවා පවත්වා ගෙන යාමට සිදුවේ. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කය සහ කොච්චිකඩේ පොලිස් ඇඳිරි නීතිය පැනවූවා කියා මිනිසුන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම නවතින්නේ නැති අතර පරිවහන අඛණ්ඩව සිදුවීම හමුවේ පොලිස් ඇඳිරි නීතිය නමට පමණක් සීමා වීමට වැඩි ඉඩක් පවතී.
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සහ මහ මැතිවරණය එකිනෙකට පටලවා නොගත යුතු බවට දේශපාලනඥයන්, විද්වතුන් මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පවා අනතරු හඟවන්නේ ඒ නිසාය.
එසේම මේ වන විටත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ලබාදී ඇති පොදු නිවාඩුව ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා නොදෙන්නේ එම සේවකයන්ට කොරෝනා වෛරසය වැළඳීමට ඉඩක් නොමැති බව රජය හිතන නිසාද නැත්නම් වෙනත් හේතුවක්ද දන්වන ලෙස රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභයට ලිඛිතව දන්වා ප්‍රශ්න කර ඇත.
අවාසනාව කියන්නේ තීන්දු තීරණ ගන්නා අයට මේ සත ටික ගැන සංවේදී නොවීමය. ප්‍රතිකාර ටොන් ගණනකට වඩා වලක්වා ගැනීමේ අවුන්සය වැදගත්ය. තීරණාත්මකය.

