Language Switcher

V2025

රටම අවදානම් ඒ ගෝඨා කෝ  ????

මේ  උද්ගතව ඇත්තේ ද බරපතල ව්‍යසන තත්වයකි. කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ කෙනෙකුට නිදහසේ හුස්ම ගත නො හැකි ය. තනිව ප‍්‍රවේසම් විය නො හැකි ය. පවුලේ කිසිවෙකුට ස්වකිය ආදරණියයන් ආරක්‍ෂා කළ නො හැකිය. ප‍්‍රතිකර්මයක් ඖෂධයක් නැත. ඇත්තම කියයි නම් දුවලාවත් බේරෙන්න බැරිය. එකම හැගීමෙන් කැපවී ප‍්‍රශ්නයට මුහුණ දීීම හැර වෙන පිළියමක් ගැලවීමක් නැත.

මේ එයාමය !

රෝයල් තෝමියන් මැච් එකට පැමිණි ආදි ශිෂ්‍යයෙකු ආසාදිතයෙකු ලෙස වාර්තා විය. ඒ ගැන ජනාධිපති ගෝඨාභය කීවේ අපූරු කතාවකි.   මැච් එක ගහන්න එපා කියා මා කීවා. ඇහුවේ නෑ. මේ කතා කරන්නේ කවුද? රටේ විධායක ජනාධිපති වරයාය. ව්‍යාප්ත වෙමින් පවත්නා ව්‍යසනයට වඩා රෝයල් තෝමියන් මැච් එක ලොකු වුණා ද? කෙනෙකු එසේ ඇසුවොත් එය හෝඩියේ පන්තියේ ප‍්‍රශ්නයකි. ඒ වෙනුවට ඇසිය යුතු ප‍්‍රශ්න කිහිපයකි. රනිල්ට වඩා ගෝඨා හොඳ වෙන්නේ කොහොමද? රටේ පාලකයෙකු සිටීද? කොම්පඤ්ඤ වීදියේ, වනාතමුල්ලේ ස්ටයිල් එක හඳුන්වා දුන් ගෝඨාභය මෙයා නොවේද? කොළඹ කුණු සුද්ධ කොට බලෙන් මීතොටමුල්ලට යැවූ ඒ ආරක්‍ෂක ලේකම් මෙයා නොවේද?  කිසිදු සැකයක් නැත. මේ එයාමය. අද අපට කතා කරන්නේ මහින්ද රාජපක්‍ෂට ඡන්දය ඉල්ලන ගෝඨාය. හැට නව ලක්‍ෂයක් ජනතාව කෝටියක් දෝස අමතක කර ගෝඨාභය තෝරා ගත්තේ මහින්ද රාජපක්‍ෂට ඡන්දය ඉල්ලන්න නොවේ. ඉන්ධන මිල අඩුවූ විට පරිප්පු අඩු කරන්නට නොවේ. යුද්ධයක් නිම කළා කියන ගෝඨාට කටුනායකින් පැමිණි කොරෝනා අසාධිතයන්ට පැන යා නොදි නිරෝධායන කඳවුරකට යැවීමට  ශක්තියක් නැත්ද? මෙහෙම ගියොත් ජනතාව ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා සිටිනු  ඇත.

තේරුම්ගෙන නැති දේ !

ඉහත කී රෝයල් තෝමියන් කතාවට අමතරව,  ජනාධිපති ගෝඨාභය කොරෝනා ආසාධිතයන්ගේ අපරීක්‍ෂාකාරිත්වය නො සැලකිල්ල හා නො දැනුවත්භාවය පිළිබඳව පුද්ගල බද්ධ සිද්ධින් ගණනවක් විස්තර කළේය. ඔහු එයින් අදහස් කළේ මේ තත්වය විවේචනය කළාට තත්වය තනිව පාලනය කළ නොහැකි බව තේරුම්කර දීම විය හැකිය. එහෙත් අවවාදයට වඩා ආදර්ශය උතුම් බව රටම දනිති. නිරවුල් අවබෝධය මෙන්ම  ජනතාවට  සන්සුන්ව දවස ගෙවීමට සැලැස්වීම හැර වෙනත් කිසිදු ක‍්‍රම වේදයක්  අදට නො ගැලපෙන බව ජනාධිපතිවරයා තේරුම් ගෙන නැත.  

හිස උදුම්මාගත් ප්‍රකාශ !

ජන ජීවිතය සන්සුන් කිරිමට නම් මැතිවරණ මානසිකත්වයෙන් රට ඈත් කළ යුතුය යන්න  කාගේත් විශ්වාසය වේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි අමන අකීකරු ආසාදිතයෙකුට වඩා හපන් ය. ඇය  කියන්නේ කුමක්ද? අප දිනන හෙයින් ඡන්දය කල් දැමීම අනවශ්‍ය බවය. ලක්‍ෂමන් යාපා අබේවර්ධන මෙන්ම සුසිල් පේ‍්‍රමජයන්ත් ද, හිස උදුම්මා ගත් හාස්‍යජනක ප‍්‍රකාශ කළහ. වෘතියෙන් විශේෂඥ වෛද්‍යවරියක වන  සුදර්ශනි ප‍්‍රනාන්දු පුල්ලේ ජනතාව රැස් නො කළ යුතුය යන්න නො තකා,  ජනතාව කැඳවා ඡන්ද රැස්වීමක් පැවැත්වූවාය. රැස්වීම අවසානයේ ඇය පවත්නා අනතුරුදායක තත්වය නො තකා එකී රැස්විමට පැමිණිම ගැන විශේෂ ස්තුතියක් කළාය. මේ හැසිරිමත් රෝයල් තෝමියන් මැච් කතාව වාගේය. උදාව ඇත්තේ මැච් ගහන හෝ ඡන්ද රැස්වීම් කරන මොහොතක් නොවේ.

ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව කටුනායක ගුවන් තොටුපළට ආසන්න තැනක නිරෝධායන මධ්‍යස්ථානයක් ඇති කිරීමට තීරණය කළේය. ඊට එරෙහිව මීගමුවේ බෞද්ධ කතෝලික ප‍්‍රජාව මෙහෙයවන ලද්දේ කවුද? ජනාධිපති වරයා ආරක්‍ෂක ලේකම් සිටි අවදියේ කුඩු කාරයෙකු ලෙස දැන සිටි නූලෙන් බේරුණ  කුප‍්‍රකට දේශපාලනඥයෙකි. රටේ බහුතරයක් බරපතල ලෙස තේරුම් ගත් කොරෝනා ව්‍යසන තත්වය පිළිබඳව ආණ්ඩුවට සම්බන්ධ  කට්ටුවේ හැසිරිම මෙවැන්නකි.  ඒ  රට ගැන හිතලාද? නැත. ඔවුන් දේශපාලනය සහ ජාතික ව්‍යසනය පටලවා තේරුම් ගෙන ඇත්තේ නො දන්නාකම නිසා නොවේ. බලය කෙරෙහි පවත්නා  පෙරේතකම නිසාය.

බෙංගමුවේ නාලක - අභය තිස්ස නිහඬය !

දේශපාලන වාසිය ගැන සිතන පොහොට්ටු කාරයන් පාලනය කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අසමත්ව සිටි. හෝ ප‍්‍රශ්නය මගහැර යමින් රටට බණ කියයි. එය බෙහෙවින් කණගාටුදායක වේ. මැතිවරණයක් තබා  රජයේ මුදල් තත්වය ගැන හෝ මෙවැනි අවස්ථාවක කතා කිරිම යහපත් නොවේ. රාජ්‍ය ප‍්‍රධානියා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මේ ගැන සිදු කරන මැදිහත්වීම තාර්කික නැත. එසේම  බෙහෙවින් මන්දගාමි වේ. ව්‍යසන තත්වය මෙන්ම සගයන්ගේ හැසිරීම් පිළිබඳවද තනිබර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ කරට පැටවී ඇති හැටියකි.  අගමැති මහින්ද රාජපක්‍ෂ නිවාඩු ගෙන විදේශගතව ඇති සැටියකි. යම් ආකාරයකින් මේ ව්‍යසන තත්වය මහින්ද විපක්‍ෂයේ සිටි කාලයේ නිර්මානය වී නම් ඔහු මේ වනවිට පන්සල් ගානේ යමින් සිදුකරන ප‍්‍රකාශ ගැන රට දනිති. අද බෙංගමුවේ නාලක, මැදගොඩ අභයතිස්ස ආදි භික්‍ෂුන් නිහඬ ය.

ඔළුවෙන් කළ හැකි දේ පටළවාගෙන !

ව්‍යවස්ථාපිත බලය ලැබුණ වහාම ජනාධිපති වරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අවස්ථාව වන විට, , සැලසුම් කළ ඡන්ද ගරන ආකර්ශනීය උගුල් ඇටවීම අවසන් කර නො තිබිණ. රාජ්‍ය සේවා පත්වීම් වලට අදාල සැලසුම් කළ පුහුණුව පොකට් රැස්වීම් ලෙස පාවිච්චි කිරිම පොහොට්ටුවේ  උපාය විය. එහෙත් මැතිවරණ කොමිෂම ඊට එරෙහි විය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිවරණ කොමිෂන් සභාවට ටිකක් සැරෙන් කතා කළේ ය. ඊටත් වඩා සැරෙන් ඒ කතාවට ප‍්‍රතිකි‍්‍රයා දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශපි‍්‍රය අපූරු ප‍්‍රශ්නයක් නැගීය. ඔය වැඬේ ඉවර කර පාර්ලිමේන්තුව විසුරුවා නො හැරියේ ඇයි? එයින් කියැවෙන්නේ  අතපය හයියෙන් සහ ඔළුවෙන්  කළ හැකි දේ පටලවා නො ගත යුතු ය යන අත්දැකීමේන් ඉගෙණිමට වර්තමාන පාලකයන්ට සිදුවී ඇති බවය.

මේ කරුණු හරහා ජනාධිපති ගෝඨාභය, ජනාධිපති ලේකම් කාර්යාලය තුළ  හුදෙකලා වී ඇති හැටියක් පෙනේ.  බැසිල්ලා සමග පවිත‍්‍රා වන්නිආරච්චිලා ලක්‍ෂමන් යාපා අබේවර්ධනලා සුසිල් පේ‍්‍රමජයන්ත්ලා  සුදර්ශනි ප‍්‍රනාන්දු පුල්ලේලා නිමල් ලංසාලා කිසිදු හැ`ගීමකින් තොරව දේශපාලන උනෙන් ගැහෙමින් සිටිති. රටේ සාමාන්‍ය ජනතාව කොරෝනා වසංගතය හමුවේ ගස් බැඳී සිටිති. ජනාධිපති ගෝඨාභය ජාතිය අමතා කළ ප‍්‍රකාශයද ඉහත කී ලෙස ප‍්‍රවේශමෙන්  සකස් නො කළ ප‍්‍රකාශයක් බව පෙනේ. ඒ කතාව විකාශනය වන නිත්‍ය වේලාවක් දැනුම් දීමට හෝ  ජනාධිපති ලේකම් කාර්යාලය අසමත් විය. ඔහු සිය ප‍්‍රකාශය අතර, වුහාන් ප‍්‍රදෙශයේ සිටි ලාංකික සිසුන් ගෙන්වා ගැනීම ගැන ආඩම්බරයෙන් කතා කළේය.  එහෙත් පකිස්ථාන් පාලක ඉම්රාන් ඛාන් චීනයේ සිටි පකිස්ථාන් සිසුන් නො ගෙන්වා ගැනීම ගැන කළ ප‍්‍රකාශය ගැන ලෝකයම දැන සිටියහ. ශක්තිමත් චීනයෙහි තම සිසු දරුවන් සුරක්‍ෂිත  බව ඉම්රාන් කීවේ නායකත්ව ගති පහළ කරමිනි. එහෙත් අවාසනාවට ලංකාවේ පාලකයන් චීනයේ ශක්තිය පාවිච්චි කළේ චීන ජාතික ආගමනිකයන් පරීක්‍ෂා නො කර රට තුලට පරීක්‍ෂා නොකර ඇතුල් කිරිමට උත්තරයක් ලෙසය. බැරිකම වෙනම එකකි. එය වසා ගැනීමට නො හැකියාව තවත් එකකි. වර්තමාන ජනාධිපති මාධ්‍ය අංශය ඉම්රාන් ඛාන්ගේ ප‍්‍රකාශය ගැන දැන සිටියේ නැත? මේ තත්වයෙන් ගෝඨාභය වෙන්කොට දැකිය යුතුවේ. ඒ ඔහුට යමක් කිරීමේ උවමනාව ඇති බව සහ ඔහුගේ පිරිවර ඊට බාධාවක් බව අප රට තේරුම් ගෙන ඇති නිසාය.

බැසිල්ගේ සහ මහින්දගේ අංචි !

තනි මිනිසෙකුට කළ හැකි ප‍්‍රමාණයක් ඇත.  ජනාධිපති ගෝඨාභය තම බල වපසරිය නිවැරදිව නාභිගත කර නොගත් හැටියකි. ඛනිජ තෙල් මිල අඩුවීම ගැන ඔහු ලවා කියවූ පරිප්පු කතාව උදාහරණයට ගන්න. ඒ උත්තරයේ පැටලූණ ඍනාත්මක ප‍්‍රහාරය මාධ්‍ය අංශය දැක නැත. හෝ දැකීමට ඔලූවක් නැත.  අනුර කුමාර දිසානායක ජනාධිපති ගෝඨාභයගේ පරිප්පු කතාව ඇට පියලි ගලවා පොලා  දෙරණ දිල්කාට  පෙන්වීය. ඒ සියල්ල සිදුවී හමාරය. ජාතිය ඇමතූ කතාව අතර, මිල අඩු කළ සැමන් පරිප්පු ලබා ගැනිමට මේ වනවිට රට පුරා සතොස ඉදිරිපිට පෝලිම් නිර්මානය විය. ඒකාරාශී නොවිය යුතුය යන උපදේශයට ඒ හරහා කුමක් සිදුවීද? මෙහිදි වෛද්‍ය සුදර්ශනී පුල්ලේගේ අමනෝඥ ස්තුතිය සිහිපත් වේ. බද්දේගම මිතුරෙකු කීවේ  සංඝරාජ හිමියන්ගේ බලූ කපුටු දානය යළි සිහිපත්වන  බවය.

තවදුරටත් මෙවැනි අඩුපාඩු සිදු නො වන්නේ නම් එය  ජනාධිපති වරයාට මෙන්ම රටටද පහසුවකි. වෙනත් අවස්ථාවන්හී පාලකයන් පත්වූ වහා ඇතිවන්නේ විපක්‍ෂ විරෝධයන්ය. එහෙත් අවාසානාවට ජනාධිපති ගෝඨාභයගේ කැදැල්ල තුළම ඇත්තේ දැඩි කැළඹිලි ස්වභාවයකි. ඒ තත්වය ඔහුට බෙහෙවින් වෙහසකර විය යුතුවේ. ඔහුට ඇති එකම වාසිය සජිත් එජාපයේ ඇති කළ ආරවුල පමණකි. ගෝඨාභයගේ වාසියට හේතු වූ අන්තවාදි සටන් පාඨ වලට පැවැත්මක් නැත. සයින්ද මරුදු තීරණය ඇති කළ ආලෝලනය ඊට උදාහරණයකි. පොහෙට්ටුව මෙහෙයවන  මහින්ද බැසිල් දෙදෙනා තුනෙන් දෙක ලබා ගැනීමට අදින අංචි නිසා  ගෝඨාභයව තම වපසරිය තුළ අසරණ වීම නො වැළැක්විය හැකිය.

මාධ්‍ය ආයතන කිහිපයකට පාලකයන් රකින්න බැරි වෙන මොහොතක් !

කොරෝනා වෛරසය දිනෙන් දින ව්‍යාප්ක වේ.  සුනාමිය වහා උද්ගතව වහා බැස ගියේය. එදා පැවරුණේ සුංබුං ඉවත් කර සියල්ල යථා තත්වයට පත් කිරිමය.  සුනාමියෙන් එක් දිනයක් ගතවන තෙක් ආණ්ඩුවට වින්දිතයන්ට වතුර උගුරක් හෝ දීමට ක‍්‍රම වේදයක් නො කිබිණ. ආණ්ඩුව හරිබරි ගැසෙන තෙක් විපතට පත් වින්දිත අපේ මිනිසුන් ජීවත් කළේ බලා ගත්තේ රටේ සාමාන්‍ය ජනතාව විසිනි. මෙහිදී වාර්තාගත හෙල්පින් හම්බන්තොට සිහිපත් කළ යුතුවේ.  රටේ වාසනාවට හෝ අවාසනාවට කොරෝනා වෛරසයට රට මුහුණ දෙන අදත් රටේ අගමැති හෙල්පින් හම්බන්තොට කර්තෘභූත අර මහින්ද පර්සි රාජපක්‍ෂම බව ගෝඨාභය රාජපක්‍ෂ තේරුම්ගත යුතුවේ.  

පාලනය කළ නො හැකි මේ තත්වය හමුවේ සන්සුන්ව දවස ගෙවීමට ජනතාවට ඉඩ සැලැස්වීම පාලකයන්ට පැවරෙන වගකීමකි. ඉහතින් විස්තර කළ ආකාරයට, ජනාධිපති වරයාට එය ලෙහෙසි පහසු නොවනු ඇත. මේ ජංජාලය මැද මිනිසුන් මැතිවරණ මානසිකත්වයකට තල්ලූ කිරිමට ජනාධීපති ගෝඨාභය ඉඩ නො දිය යුතුවේ. බාහිර බලපෑම් වලින් තොරව රාජ්‍ය ප‍්‍රධානියා මේ ප‍්‍රශ්නය තමන් අතට ගන්නා තෙක් කොරෝනා වෛරසය දුර්භික්‍ෂයක් තෙක් මොහොතින් මොහොත ව්‍යෘප්ත විය හැකිය. එළඹෙන මැතිවරණය යනු එකම පිලේ එවුන් කා ගොටා ගන්නා  මනාප පොරයකි. මහා මිනිස් අරගලයකි. කුල අතර ගැටුමකි.  උඩ පහත බෙදිමකි. වර්ග වාදය උත්සන්න වීමකි. නිදහසේ හුස්ම ගත නොහැකි පාරක තොටක නො බියව ගමන් කළ නොහැකි රට මැදට ඒ බලූ පොරය තල්ලූ කළොත් අපට කුමකින්  කුමක් වේද? තුනෙන් දෙකට සිහින මවන මුග්ධයන් ගෙන් මේ ව්‍යසනය බේරා ගත යුතුවේ. එසේම රනිල් සජිත් අනුර කුමාර කරු ජයසුරිය ආර්. සම්බන්ධන් වැනි විපක්‍ෂ ප‍්‍රමුඛ දේශපාලනඥයන් එක් මේසයකදී මේ තත්වය සාකච්ජා කරයි නම් එය තම කණ්ඩායම තුළ තනිව සිටින ජනාධිපති ගෝඨාභයට ශක්තියක් වනු ඇත.  මේ උදාව ඇත්තේ මාධ්‍ය ආයතන කිහිපයකට පාලකයන් ආරක්‍ෂා කරගත හැකි අභියෝගයක් නම් නොවේ. 
 

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්ත විසිනි !