කොරෝනා - ඇඳිරි නීතිය අස්සේ : මාධ්‍ය හමු කැඳවූ බන්දුල චොර වෙයි !

කොරෝනා - ඇඳිරි නීතිය අස්සේ : මාධ්‍ය හමු කැඳවූ බන්දුල චොර වෙයි !

ලංකාව තුළ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා  රජය විසින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවසේ සිට රාජකාරිවල නිරත වන ලෙස දන්වා තිබියදී සහ රට පුරා ඇඳිරි නීතිය දැමීමට තීරණය කර තිබීම හමුවේ තමන්ව සාමාන්‍ය මාධ්‍ය හමුවක් සඳහා කැඳවුයේ කොරෝනා ආසාදනය කරවීමටද යන ප්‍රශ්නය අද (20) මාධ්‍යවේදීන් විසින් ආණ්ඩුව වෙත යොමුකෙරිණ.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කියා අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්  කැඳවා තිබු මාධ්‍ය හමුව අවස්ථාවේය.

එම අවස්ථාව සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව ද සහභාගීව සිටි අතර එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ ගැන නොදන්නවා විය හැකි නමුත් මේ අවධානම ගැන අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවබෝධයක් නොතිබුණේද කියාය.

ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සඳහන්  කර සිටියේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුව අවස්ථාවේ ඇඳිරි නීතිය හදිසියේ  ප්‍රකාශයට පත්වූ බවත් ඒ වන විට පූර්ව දැනුම්දීම අනුව මාධ්‍ය හමුව සඳහා මාධ්‍යවේදීන් රැසක් සහභාගීව සිටි නිසා එය අවලංගු නොකළ බවය.

මෙහිදී මාධ්‍යවේදීන් වැඩිදුරටත් පවසා සිටියේ කැබිනට් තීරණ දැන්වීම වැන්නක් වීඩියෝ සහ වෙනත් තාක්ෂණික ක්‍රමවේදයක් හරහා මාධ්‍යවෙත එවීමට කටයුතු කල යුතුව තිබුණා නොවේද යන්නය. එමෙන්ම අද මාධ්‍ය හමුවේදීද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියන්නේ කලින් කියූ ටිකම බවත් ඔවුන් පැවසීය.

තවද මාධ්‍යවේදීන් සිහිපත් කර සිටියේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර නිවසේ සිට රාජකාරි කිරීමට වේලාසන කටයුතු කර තිබියදී මෙකී සාමාන්‍ය මාධ්‍ය හමුව කැඳවීම ආණ්ඩුවේ තීරණය නොතකා කටයුතු කිරීමක් බව නොවේද යන්නය.

එහිදී මඬුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ පී.බී. ජයසුන්දර රාජ්‍ය නිලධාරියකු බවත් තමන් රට කරවන ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක බැවින් ආණ්ඩුවේ තීරණ දැන්වීමට මෙම මාධ්‍ය හමුව කැඳවූ බවත් එය නැවත්වීමට ප්‍රශ්න කරන මාධ්‍යවේදීන්ට නොහැකි බවත්ය.

මෙම මාධ්‍ය හමුවෙන් අනතුරුව ඊට සහභාගීවූ මාධ්‍යවේදීන් පවසා සිටියේ කොරෝනා මර්දනය කෙසේ වෙතත් ඊට මිනිසුන් මුහුණදෙන අවධානමට වඩා තමන්ගේ මුහුණ මාධ්‍ය වෙත යොමුකර ගැනීමේ අපේක්ෂාවෙන් මෙවැනි තේරුමක් නැති මාධ්‍ය හමු කැඳවන බවය.

තම ආයතන වෙත විශේෂ මාධ්‍ය හමුවක් ලෙස සඳහන් කර ආරාධනා කරන බැවින් ඒමට සිදුවන බවත් මේ සැහැල්ලු ආකාරයට ගෝලීය වසංගතය තේරුම් ගැනීම හමුවේ ඇතැම් මැති ඇමැතිලාගේ මානව හිතවාදය කොතරම්ද යන්න පැහැදිලි වන බවත් ඔවුන් පැවසීය.,

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න