Language Switcher

V2025

සෞඛ්‍ය සන්නිවේදන ජාලයක් වහා ස්ථාපිත කළ යුතුයි - MJR ඩේවිඩ් 

ලංකාව ගෝලීය වසංගතයට මුහුණ දෙන්නේ ඉතා අනතුරුදායක පසුබිමක බවත් ඒ හමුවේ සෞඛ්‍ය සන්නිවේදන ජාලයක් වහා ස්ථාපිත කල යුතු බව සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන MJR ඩේවිඩ් පවසයි.

ඔහු newstube.lk  වෙත විද්‍යුත් ලිපියක් යොමුකරමින් මෙය බලධාරීන්ගේ අවධානයට යොමුකරන ලෙස ඉල්ලා ඇති අතර එම කරුණු දැක්වීම පහත දැක්වෙයි.

සෞඛ්‍ය සන්නිවේදන ජාලයක්  වහා ස්ථාපිත කළ යුතුය.  ශ්‍රී ලංකාව  ගෝලීය  සෞඛ්‍ය වසංගතයට මුහුණ දෙන්නේ  ඉතා අනතුරුදායක පසුබිමකය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය  දැඩි ලෙස අඩපණ වූ මොහොතක මෙම අවදානමට මුහුණ දීමට සිදුව ඇත. දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මගින්  ප්‍රමාද වී හෝ  යම් යම් සාධනීය තත්වයන් අත්පත් කර ගන්න හැකිවී ඇත. එහෙත් හදිසියේම වසංගත රෝග තත්ත්වය ප්‍රසාරණය වුවොත්  මේ වාසි අහිමි වීමට ඉඩ ඇත.

 මේ ගැටළුවට සරල රේඛීය පිළිතුරු නැති අතර බහු  පාර්ශවිය ආකාරයට  පිළිතුරු සෙවිය යුතුව ඇත.  මෙය සංකීර්ණ තත්ත්වයක් වන අතර  ඉතා සරල විසඳුම්   මෙන්ම  සංකීර්ණ විසදුම්  ඔස්සේ මෙම පත්වේද පිළියම් සෙවිය යුතුය.  මේ සියල්ලටම යටින් ඇති යථාර්ථය නම්  දැඩි අවිනිශ්චිත බවයි.

 අවිනිශ්චිත තත්ත්වයකට නිශ්චිත පිළිතුරු නැත. වෛද්‍යවරුන්  නිවාරණ කටයුතු කරන අතර  ආරක්ෂක අංශ  නිවාරණ ක්‍රමවේද  ක්‍රියාත්මක කළ යුතුය. ඒත් මේ දෙපාර්ශ්වයට පමණක් මෙම ගැටළුව විසඳිය නො හැක.

නිවාරණය හා ආරක්ෂක ක්‍රමවේද  තරම්ම ' මෙම ගැටළුව අප විසින්   විසින්  විසඳාගත යුතුව ඇත' යන සාමුහික චින්තනය  හායි ද අවශ්‍ය තොරතුරු    ජනිත කරන  සෞඛ්‍ය සන්නිවේදන  ක්‍රියාන්විතයක් අවශ්‍ය වේ. හුදෙක් එක් එක් ජනමාධ්‍ය මගින්  තමන්ගෙ තොරතුරු ඉදිරිපත් කිරීම  ප්‍රමාණවත් නොවේ.

 මේ සඳහා සෞඛ්‍ය සන්නිවේදන  විශේෂඥතාවයේම  සේවය ලබාගත යුතුය. මෙවැනි සෞඛ්‍ය සන්නිවේදන ජාලයකට පහත සඳහන් ක්‍රියාමාර්ග ගත හැකිය. 

(1)  සෞඛ්‍ය  තොරතුරු  සුපරීක්ෂණය: කොරෝනා වෛරස් ආසාදනය පිළිබඳව  නිවැරදි තොරතුරු සමාජගත වේදැයි  විමර්ශනය කිරීම සහ  වැරදි තොරතුරු  ඉදිරිපත් වේ නම්  වහාම එය නිවැරදි කිරීම.

(2)   නිර්මාණාත්මක පණිවිඩය සම්පාදනය කිරීම: අවශ්‍ය සෞඛ්‍ය තොරතුරු සමාජගත කළ පමණින්  අවශ්‍ය බලපෑම සිදුවන්නේ නැත.  විද්‍යාත්මක ක්‍රමවේදයක් යොදා ගනිමින්  ජනතාව අතරට  තොරතුරු ගෙන යන

 නිර්මාණාත්මක ක්‍රියාවලියක්  ආරම්භ කළ යුතුය. වියට්නාමය මෙවැනි ක්‍රියාවලියක් ආරම්භ කළ අතර එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්පත් වී තිබේ.

(3)  බිම් මට්ටමේ තොරතුරු  ප්‍රතිපත්ති සන්නිවේදකයින් වෙත ලබාදීම: සන්නිවේදන යනු හුදෙක් ඉහල සිට පහලට ගලා එන ක්‍රියාවලියක් නොවේ.  මූල මට්ටමේ බිහිවන තොරතුරු  ප්‍රතිපත්ති සම්පාදන මට්ටමට ලඟා කරවන  තොරතුරු ජාල ඇති කළ යුතුය. මේ තුළින්  කොරෝනා වෛරස් ආසාදන  මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රජා සහභාගීත්වය ඇතිකර ගත හැකිය.

(4)  ගෝලීය මට්ටම කෙරෙහි අවධානයක් යොමු කරවීම: කොරෝනා වෛරස් ආසාදනය  හුදෙක් එක් රටක සිදුවන ක්‍රියාවලියක් නොවේ.  ගෝලීය මට්ටමේ සිදුවන  ක්‍රියාවලිය   කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් වඩා පුළුල් දැක්මක් ඇති කරගෙන  නිසි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය    ධාරණා  සපයාගත හැකිය.

(5)  සමාජීය  සහ ආර්ථික පසුබැස්ම  කළමනාකරණය කිරීම:  කොරෝනා වෛරස් ආසාදන හේතුවෙන් සිදුවන සමාජීය හා ආර්ථික පසුබැස්ම  කළමනාකරණය  කිරීම පිළිබඳ   සංවාදයක් ඇති කිරීම සඳහා අවශ්‍ය මූල තොරතුරු ලබාදීම  මෙම සන්නිවේදන ජාලයට කළ හැකිය.

මෙම කොරෝනා වෛරස් ආසාදිත තත්ත්වය තුළ  සෞඛ්‍ය සන්නිවේදන ජාලයකට කුමක් කළ හැකිද යන්න පිළිබඳව  මේ මොහොතේ නිශ්චිත පිළිතුරක් නැත.  ඇත්තේ අනුමාන කීපයකි.  මෙම අනුමාන කීපය ඔස්සේ ක්‍රියාත්මක වීම සඳහා  ගතයුතු ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව  සාකච්ඡා කිරීම සඳහා  සන්නිවේදන විශේෂඥයන් සහ  මාධ්‍ය ක්‍රියාධරයින් ගේ  එකතුවක්   වහාම  පිහිටුවීමට කටයුතු කළ  යුතුය.

 ආසාදනය   පාලනය කිරීමට අසීරු තත්ත්වයකට ව්‍යාප්ත වීමෙන් අනතුරුව  මෙවැනි  සන්නිවේදන ප්‍රවේශයකින් ප්‍රතිඵලයක් ලබා ගැනීම අසීරුය. මෙම අර්බුදය තුළ  ගැටළුවට පිළියම් ලැබෙන්නේ  අර්බුදය තුළින්මය. අර්බුදය තුළින් පිළියම් මතුවන විට

 ඒවා එක්රැස් කරගෙන  සාධනීය ලෙස සන්නිවේදනය කිරීම  තවදුරටත් ප්‍රමාද කළ නොහැකි කාර්යයකි. හුදෙක් මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය පිළිබඳ පණිවිඩ පතුරුවා හැරීම සහ  විද්‍යාත්මක සැලැස්මක් ඔස්සේය   තොරතුරු අර්ථකථනය කරමින්  අර්ථවත් ධාරණා ගොනු කරගෙන  ඒවා සමාජගත කිරීම එකිනෙකට වෙනස් කාර්ය දෙකකි.

අවාසනාවකට මෙන්  දැනට ඇත්තේය  විසිරුන පණිවිඩ සමූහයක්  ඒ ඒ මාධ්‍ය ඔස්සේ  විසුරුවා හරින ක්‍රියාවලියකි.  දැනට මේ ක්‍රියාවලිය අඩුපාඩු පෙනෙන්නේ නැත්තේ  සාපේක්ෂ වශයෙන්   ආසාධිත රෝගීන්ගේ  සංඛ්‍යාව  පවතින සම්පත් වලින්  පාලනය කළ හැකි    තත්ත්වයක් දැනට පවතින හෙයිනි.

 මේ තත්වය   වෙනස් නොවේවා කියා අප ප්‍රාර්ථනා කරන අතර   තත්වය වෙනස් වුවහොත්  කළමනාකරණ ඉතා අසීරු විය හැකි බව  හිතාගැනීමට  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට  සිදුකොට   අනතුරු ඇඟවීම  ප්‍රමාණවත් යැයි කල්පනා කරමු.

එම් ජේ ආර්   ඩේවිඩ්