කොරෝනා අස්සේ බරපතල ව්‍යවස්ථා අර්බුදයක් : 'රජයට අප්‍රේල් 30 දායින් පසු මුදල් වියදම් කිරීමේ බලයක් නැහැ' - හිටපු අගමැති රනිල් පෙන්වාදෙයි

කොරෝනා අස්සේ බරපතල ව්‍යවස්ථා අර්බුදයක් : 'රජයට අප්‍රේල් 30 දායින් පසු මුදල් වියදම් කිරීමේ බලයක් නැහැ' - හිටපු අගමැති රනිල් පෙන්වාදෙයි

කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවීමේ අවදානමකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇති නමුත් ඒ සදහා පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට තවමත් රජය කටයුතු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අතර තවත් දැවැත්ත මූල්‍ය අර්බුදයකට රට ඇද වැටීමේ අවදානමක් ද මතුව තිබෙන බවත් ඒ පිළිබදව ද මෙතෙක් රජයේ සැලකිල්ල යොමු වී නොමැති බවත් ඔහු අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ අද (20) විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

අප්‍රේල් 30 වන දායින් පසු රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේ ජනාධිපතිවරයාට බලයක් ද නොමැති බව ද හිටපු අගමැතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂ නායකයාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 දැවැත්ත මූල්‍ය අර්බුදයකට රට ඇද වැටීමේ අවදානමක් !

කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවීමේ අවදානමකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇත. ඒ සදහා පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට තවමත් රජය කටයුතු කර නොමැත. ඒ අතර තවත් දැවැත්ත මූල්‍ය අර්බුදයකට රට ඇද වැටීමේ අවදානමක් ද මතුව තිබේ. ඒ පිළිබදව ද මෙතෙක් රජයේ සැලකිල්ල යොමු වී නොමැත.

රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කළ හැක්කේ පාර්ලිමේන්තුව විසින් සිදු කරන ලද සම්මතයකින් පමණි. 2020 ජනවාරි 01 වැනි දා සිට 2020 අප්‍රේල් 30 වැනි දා දක්වා මූල්‍ය කටයුතු සිදු කරලීම සදහා පාර්ලිමේන්තුව විසින් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ඇත.

ඒ අනුව අප්‍රේල් 30 වැනිදා දක්වා මුදල් වියදම් කිරීමේ ගැටළුවක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම කාලය තුළ ජනාධිපතිවරයාට කිසිදු ආකාරයකින් අතුරු සම්මත ගිණුමට පරිබාහිරව වියදම් කිරීමට නොහැකිය.

එසේම අප්‍රේල් 30 වන දායින් පසු රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේ බලයක් ද නොමැත.

පාර්ලිමේන්තුව විසුරුවා ඇති අවස්ථාවක ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන ආකාරය ව්‍යවස්ථාවේ 150 (3) වගන්තියේ දක්වා ඇත. එය මෙසේය.

‘‘යම් කිසි වර්ෂයක විසර්ජන කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සදහා මුදල් වෙන් කර නොමැත්තේ නම්, අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සදහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම්, ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය““.

''පාර්ලිමේන්තුව රැස්වන දිනය දක්වා කිසිදු මුදලක් වියදම් කිරීමට රජයට හැකියාවක් නොමැත.''

කරෝනා අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනය කවදාදැයි කිව නොහැකිය.ඒ අනුව අප්‍රේල් 30 වැනිදා සිට අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය දක්වා කිසිදු මුදලක් වියදම් කිරීමට රජයට හැකියාවක් නොමැත.

රජයේ සේවක වැටුප් ගෙවීමේ සිට කොරෝනා වෛරසයෙන් ගැලවීමේ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම දක්වා සියළු කටයුතු අර්බුදයකට ලක්වීමට මෙය හේතු වෙයි.

වහාම පක්ෂ නායක රැස්වීමක් කැදවන ලෙස අප ඉල්ලා සිටීමට එක් හේතුවක් වූයේ ද මේ අර්බුදකාරී තත්ත්වය අප අවබෝධ කරගෙන සිටින බැවිනි. ඒ ඉල්ලීම කර සතියක් ගෙවී ගිය ද මේ වන තුරු රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මෙවන් අර්බුදකාරී අවස්ථාවන් ජයගත හැක්කේ දේශපාලන වාසි පිටුපස හඹා යෑමෙන් නොව රට සුරක්ෂිත කිරීමේ අරමුණට ප්‍රමුඛත්වය දීමෙන් පමණක් බවද වගකිව යුත්තන්ට සිහිපත් කරමි.

ranil letter 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න