Language Switcher

V2025

කොරෝනා : එන්නත බිහිවන්නේ කවදාද? මුලින්ම ලැබෙන්නේ කාටද?

නව කොරෝනාවෛරසය දේශ සීමා නොතකා ලොව පුරා ව්‍යාප්තවෙමින් පවතී.

එය මරා දැමිය හැකි ඖෂධයක් හෝ ඉන් මිනිසා ආරක්ෂා කරගත හැකි එන්නතක් තවමත් සොයා ගෙන නොමැත.

ඒ වෙනුවෙන් ලොව පුරා විද්‍යාඥයෝ දිවා රෑ සටනක යෙදී සිටිති. එසේනම්, නව කොරෝනාවෛරසයට අභියෝග කළ හැකි ඒ ඖෂධය හෝ එන්නත මේ වනවිට ඇත්තේ තව කෙතරම් ඈතින් ද?

කොරෝනා වෛරස එන්නත බිහිවෙන්නේ කවදාද ?

පෙර නොවූ විරූ තරම් වේගයකින් පර්යේෂණ සිදු වෙමින් ඇත.

මේ වනවිට එන්නත් 20ක් පමණ සකස් කර වර්ධනය කරමින් පවතී. ඉන් එක් එන්නතක් මිනිස් දේහය මත අත්හදා බැලීම මේ වනවිටත් ආරම්භ වී ඇත.

සාමාන්‍යයෙන් එන්නතක් මුලින්ම අත්හදා බැලෙන්නේ සත්ව දේහ මතය. නමුත් මෙම එන්නත එම සම්ප්‍රදාය බිඳ ඇත.

 111397111 52008522

 

එහි ආරක්ෂිතභාවය හෝ සඵලත්වය මුලින්ම සත්ව දේහ තුළ පරීක්ෂාවට ලක් කිරීම සඳහා කාලය වැය කළේ නැත. එය කෙලින් ම අත්හදා බැලෙන්නේ මිනිස් සිරුර තුළම ය.

නව කොරෝනාවෛරසය සඳහා සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් එන්නත් සියල්ල ම මේ වන විට පවතින්නේ සත්ව දේහ තුළ අත්හදා බලමින් පවතින අවධියේ ය. ඒවා මිනිස් දේහය තුළ අත්හදා බලා එහි ප්‍රතිඵල ලබා ගැනීමට යම් කලක් ගතවන නමුත් එය මේ වසර තුළදී ම සිදු වීමට නියමිතය.

මේ වසර තුළදී ම නව කොරෝනාවෛරසයට එන්නතක් සොයා ගැනීමේ ප්‍රීතිය සැමරීමට විද්‍යාඥයින්ට හැකියාවක් ලැබුනත්, එය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම විශාල අභියෝගයකි.

ඒ අනුව බලන කල, නව කොරෝනාවෛරසයට එරෙහි එන්නතක් ලබන වසරේ මැද භාගයට පෙර සුදානම් වේයැයි සිතීම යථාර්ථවාදී නොවිය හැක.

කෙසේ වෙතත්, මේ සියල්ල සිදු වන්නේ පෙර කවරදා හෝ සිදු නොවූ වේගයකිනි. පෙර අත් නොදුටු ක්‍රියාදාමයන් යොදා ගනිමිනි. එහෙයින් සියල්ල සුමටව සිදුවනු ඇති බවට කිසිදු සහතිකයක් නොමැත.

මේ වන විට වෙනත් කොරෝනාවෛරස හතරක් මිනිස් සිරුරු තුළ සංසරණය වෙමින් පවතින බව අමතක නොකළ යුතුය. එම වෛරස මගින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරවන අතර ඒ සඳහා ද තවමත් එන්නතක් අප සතුව නැත.

මෙම එන්නතින් සෑම වයස්  කාණ්ඩයක්ම ආරක්ෂා වේද ?

බොහෝ විට මෙය වයස්ගත පුද්ගලයන් මත එතරම් සාර්ථක නොවිය හැක. මෙය එන්නතේ වරදක් නොවේ. සාමාන්‍යයෙන් වයස්ගත පුද්ගලයන් සතු ප්‍රතිශක්තිය එන්නත් සඳහා හොඳින් ප්‍රතිචාර නොදක්වයි.

මෙහි අනර්ථ කාරී අතුරු ඵල වේද ?

සෑම ඖෂධයකම අතුරුඵල පවතී. බහුලව භාවිත කෙරෙන වේදනා නාශකයක පවා තත්වය එසේමය.

 111397665 d37ec2e4 7f04 472c a5b8 78602b06c2c5

කෙසේ නමුත් නව කොරෝනාවෛරසය වෙනුවෙන් නිපදවෙන එන්නතක පැවතිය හැකි අතුරුඵල පිළිබඳව නිගමනයකට එළඹිය හැක්කේ ඒ පිළිබඳව කෙරුණු සායනික පරීක්ෂණවලින් අනතුරුව ය.

මේ පිළිබඳව ඖෂධ නියාමකයන් දැඩි අවධානයකින් පසුවනු ඇත.

එන්නත මුලින්ම ලැබෙන්නේ කාටද ?

එන්නතක් නිෂ්පාදනය කළහොත් එහි මුල් අවධිය තුළ සැපයුම සීමා සහිත වනු ඇත. එම නිසා පළමු තොග භාවිතය පිළිබඳව ප්‍රමුඛතාවය තීරණය කළ යුතුව පවතී.

කොවිඩ් - 19 රෝගීන් සමඟ සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින් ම සිටිනු ඇත.

නව කොරෝනාවෛරසයේ බලපෑම මාරාන්තික වී ඇත්තේ වයස්ගත පුද්ගලයන්ට ය. මෙම එන්නත එම වයස් කාණ්ඩයට සාර්ථකව ප්රතිචාර දක්වන්නේ නම් ඔවුන්ට ද ප්‍රමුඛතාවය හිමි වනු ඇත.

කෙසේ නමුත්, වයස්ගත පුද්ගලයන් සමඟ වාසය කරන්නන් හෝ ඔවුන් රැකබලා ගන්නා උදවියට මෙම එන්නත ලබා දීම වඩා යහපත් විය හැක.

ඖෂධයක් සොයා ගනීවිද ?

දැනට පවතින ප්‍රති වෛරස ඖෂධ වර්ග නව කොරෝනාවෛරසයට එරෙහිව ක්‍රියා කරන්නේද යන්න පිළිබඳව වෛද්‍යවරු පරීක්ෂා කරමින් සිටිති.

මෙම ඖෂධ මිනිසාට ලබා දීම ආරක්ෂිත බවට කලක සිට තහවුරු කර ඇති බැවින් එම පර්යේෂණ ඉතා කඩිනමින් සිදු කළ හැකිය.

කොවිඩ් - 19 වෛරසයේ බලපෑමට ලක් වූ රටවල වෛද්යවරු මෙම අත්හදා බැලීම් සිදුකරගෙන යති. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය බ්රුස් අයිල්වාර්ඩ් පවසන පරිදි විශ්වාසය තැබිය හැක්කේ එක ඖෂධයක් ගැන පමණි.

"ඇත්තටම ඵලදායී විය හැකි බවට හිතන්න පුළුවන් එක බෙහෙතයි තියෙන්නේ; ඒක තමයි Remdesivir නමැති ඖෂධය," ඔහු පැවසීය.

එය නිපදවා ඇත්තේ ඉබෝලා රෝගය වෙනුවෙනි. නමුත් එමගින් තවත් බොහෝ වෛරස මරා දැමිය හැකි බව පෙනී යයි.

කෙසේ නමුත් ඒ පිළිබඳව සිදු කෙරුණු අත්හදා බැලීම්වල ප්‍රතිඵල තවමත් නිකුත් වී නැත.

මැලේරියා ඖෂධය !

එමෙන්ම HIV සඳහා නිෂ්පාදනය කර ඇති ඖෂධ දෙකක් (lopinavir and ritonavir) ගැන වැඩි බලාපොරොත්තුවක් පැවතුනි. නමුත් සායනික ප්‍රතිඵල අපේක්ෂා බිඳ දමන සුළුය.

එම ඖෂධ දෙවර්ගය ලබා දීම තුළින් සුවය ලැබීමේ ප්‍රවනතාවය වර්ධනය නොවීය; මරණ අඩු නොවීය; රෝගීන්ගේ සිරුර තුළ පැවතුණු කොවිඩ් -19 වෛරස ප්‍රමාණය හෝ අඩු නොවීය.

කෙසේ නමුත් මෙම ඖෂධ දෙවර්ගය ලබා දී ඇත්තේ අතිශය අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට ය. එම නිසා මෙම ඖෂධයේ ප්‍රතිඵල ලබන්නට එය ප්‍රමාද වූවා වැඩි විය හැක.

තවත් ලාබදායී, පැරණි ඖෂධයක් ගැන යම් බලාපොරොත්තුවක් පවතී. ඒ මැලේරියාව සඳහා නිපදවූ chloroquine නමැති ඖෂධයයි.

එමගින් කොවිඩ් -19 වෛරසය මරා දමන බවට රසායනාගාර පරීක්ෂණ තහවුරු කර ඇත. නමුත් රෝගීන් මත කෙරුණු අත්හදා බැලීම්වල ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටිය යුතුය. එක්සත් ජනපදයේ සහ තවත් රටවල් කිහිපයක මෙම අත්හදා බැලීම් සිදුවෙමින් පවතී.

(බීබීසී)