Language Switcher

V2025

IDH රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා !

මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කර සිටියි.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කලේ මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ IDH රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙක් බවය.

ඊයේ (22) දිනයේදී මෙම වෛද්‍යවරයාට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පුද්ගලයින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 දිවයිනේ රෝහල් 18ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබේ.

වෘත්තීය සමිති ඉල්ලීම් 3ක්  !

මේ අතර කොවිඩ් 19 වසංගතය හමුවේ හෙද කාර්ය මණ්ඩලය මුහුණ දෙන දැඩි අවධානම අවම කරගෙන ප්‍රශස්ථ සේවයක් ලබාදීම වෙනුවෙන් අතිශය මානුෂීය ඉල්ලීම් කිහිපයක් ඉල්ලා ලිපියක් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කරන්නට  සමස්ථ ලංකා හෙද සංගමය කටයුතු කර ඇත.

එම සංගමයේ ප්‍රධාන ලේකම්  HMSB මැදවත්ත විසින් මෙම ලිපිය යොමුකර ඇති අතර එය පහත දැක්වෙයි.

රෝගියා සමග ඉතාමත්ම සමීපව කටයුතු කරන හෙද කාර්ය මණ්ඩලය #කොවිඩ් - 19 (#Covid 19) වසංගතය හමුවේ වැඩිම අවධානමකට ලක්ව ඇති සේවක කණ්ඩායම බව දැනටමත් ඔබතුමිය හොදින් දන්නවා ඇතැයි සිතමු.
 
පවතින අසීරු තත්වයන් හමුවේ ප‍්‍රසස්ථ සේවාවක් ලබාදෙමින් සිටින හෙද හෙදියන් ඇතුළු කාර්ය මන්ඩලයන් සුරක්ෂිත කිරීම අප රට හමුවේ ඇති සුවිශේෂී අභියෝගයකි. ඒ සදහා වගකිවයුතු වෘත්තීය සමිතියක් ලෙස පහත සදහන් යෝජනා ඉදිරිපත් කරමු.

01. අවම සේවක සංඛ්‍යාවක් යොදවමින් ඔවුන්ගේ ආර්ථික සුරක්ෂිතතාවයද ඇති කිරීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීමට යෝජනා කරමු. එහිදී ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලින් 1/3 ක් හෝ ප‍්‍රමාණවත් අවම ප‍්‍රමාණය පමණක් මගින් වැඩි සේවා මුර ප‍්‍රමාණයක් නියමිත කාලයකට ආවරණය කර ඉතිරි කාලය ඔවුන්ට නිවසේ හෝ නේවාසිකාගාරවල ආරක්ෂිතව ගත කිරීමට අවස්ථාව ලබාදීම. එලෙස සේවය කිරීමේදී හෙද හෙදියන් අනිවාර්යෙන්ම දැඩි ආර්ථික අනාරක්ෂිතතාවයකට පත්වේ. එබැවින් සියළු හෙද හෙදියන්ගේ (හා කාර්ය මණ්ඩලවල) ණය වාරික අයකරගැනීම මාස 06 කට අත්හිටුවීමට යෝජනා කරමු.

02. ඇදිරි නීතිය සමග වන ප‍්‍රවාහන ගැටළු ප‍්‍රබලව බලපානු ලබන සේවක කාණ්ඩය හෙද හෙදියන්ය. ඇතැම්විට ඔවුන් දිස්ත‍්‍රික්ක කීපයක් දුර ගෙවා ගෙන තම සේවා ස්ථානයට පැමිණෙන්නේ ප‍්‍රවාහන හා නේවාසික පහසුකම් කිසිවක් නොමැති නිසාවෙනි. මේ අවස්ථාවේ ප‍්‍රවාහන ගැටළු නිසා සේවයට පැමිණීමට නොහැකිව සිටින හෙද හෙදියන්ට රාජකාරී නිවාඩු ලබා දෙන ලෙසට ඉල්ලා සිටිමු.

03. කොවිඩ් - 19 (#Covid 19) වසංගතය හමුවේ අනාරක්ෂිතම සේවක කොටසක් බවට පත්ව ඇත්තේ ගර්භණී හෙද හෙදියන් ඇතුළු ගර්භණී කාර්ය මණ්ඩලයන්ය. ඔවුන්ටද වහාම ක‍්‍රියාත්මක වන පරිදි රාජකාරී නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.