Language Switcher

V2025

කොරෝනා ආසාදිතයන් 97ක් දක්වා ඉහළට : ආණ්ඩුවේ වැඩවල හති විතරද ?

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස ඊයේ (23) මධ්‍යම රාත්‍රිය වන විට 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබිණ.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග තහවුරු කල අතර මෙම ආසාදිතයන් අතරින් දෙදෙනෙකු IDH හී  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් තහවුරුව තිබේ.

ඒ අනුව ඊයේ දිනය වන විට කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ යළි වැඩිවීමක් පෙන්නුම් කරයි.

දිවයින පුරා රෝහල් 30ක් !

තවද ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර ඇති බවත් රජයේ ආරංචිමාර්ග පවසයි.

ඊට අනුව වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වාට්ටු සංකීර්ණ, ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් අමෙරිකා ආයතනයට අයත් ගොඩනැගිලි,  හෝමාගම මුලික රෝහල  නව කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස මේ වන විටත් සංවර්ධනය කර අවසන්ව තිබේ.

වගකිව යුත්තන් ති දැම්මට වැඩ නෑ !

මේ අතර  කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසයේ බලපෑම සහ ව්‍යාප්තිය සම්බන්ධව බලධාරීන් නිවැරදි තක්සේරුවක සිටීද යන ප්‍රශ්නය යොමුවෙමින් ඇත.

ඊට ආසන්න නිදර්ශනයක් වන්නේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ කොවිඩ් – 19 වෛරස් රෝගය නිරෝධායනීය රෝගයක් වශයෙන් ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත්තේ පසුගිය මාර්තු 20 වනදා වීමය. 

මෙරට තුළ මුල් වරට කොරෝනා ආසාදිතයකු වාර්තා වන්නේ ජනවාරි 27 වනදා ය. ඒ වන විට නිරෝධායනය සම්බන්ධව ලෝක මට්ටමේ අවධානය යොමුවෙමින් තිබිණ. ඒ සමයේ මාර්තු 11 වනදා වන විට කොරෝනා වැළඳුනු පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වූ අතර ඉරානය , ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන්නන් අනිවාර්ය නිරෝධායනයට යටත් කෙරුණේ මාර්තු 11 වනදා ය. ඒ අවස්ථාවේ සිට නිරෝධායනයට ඇතැම් පාර්ශව විරුද්ධ විය. 

එහිදී එම නිරෝධායනය ප්‍රතික්ෂේප කරන පාර්ශව වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව කීවත් එතෙක් කොවිඩ් 19 ගැසට් පත්‍රයට ඇතුළත් කරගන්න තරම්වත් වැඩපිළිවෙලක් හෝ නිසි අවධානයක් තිබී නැත. මේ දැක්වෙන්නේ ඊට අදාළ සාක්ෂි සපයන මාර්තු 20 නිකුත් කෙරුණු ගැසට් පත්‍රයයි.

ගැසට් අංක 1 දාන්න 

20 වෙනතුරු ෆේස් මාස්ක් රට යවපු රටක් !

එපමණක් නොව මාර්තු 20 වන තුරු ෆේස් මාස්ක් අපනයනය කිරීමට සහ ප්‍රතිඅපනයනය කිරීමටද අවස්ථාව තිබී ඇත.

මේ වන විට සාමාන්‍ය ජනතාවට මිලදී ගැනීමට පවා වෙළඳ පොළේ ෆේස් මාස්ක් හිඟය. එපමණක් නොව රෝහල් කාර්ය මණ්ඩල වෙත පවා අවශ්‍ය තොග සීමිත බැවින් සහන කණ්ඩායම් සහයෙන් ඒවා සම්පාදනය කරගනිමින් පසුවෙයි.

එහෙත් අවාසනාව වන්නේ මාර්තු 20 දක්වා ම ෆේස් මාස්ක් අවශ්‍ය තරම් අපනයනය කිරීමට සහ ප්‍රතිඅපනයනය වෙනුවෙන් අවස්ථාව හිමිව තිබීමය. ඒ අනුව මෙරටින් එම ෆේස් මාස්ක් තහනම් වන්නේද මාර්තු 20 සිටය.

ඊට අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි. 

ga

ඒ අනුව පළමුව ආණ්ඩුව කොච්චර හති දාගෙන තීන්දු තීරණ ක්‍රියාවට නැංවුවත් ඒ අවසානයේ ඇත්තේ ප්‍රතිඵල විරහිත බවකි. මතුකරන්නේ ආණ්ඩුව ගැන අප්‍රසාදයකි. හේතුව සංයුක්ත වැඩපිළිවෙලක් නොතිබීමය. 

දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ මෙතරම් මුලික කරුණු පවා අතපසු වෙමින් ඇති මොහොතක පාර්ලිමේන්තුව කැඳවීමට හෝ පක්ෂ නායකයන් රැස්කර උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කිරීමට ජනාධිපති කටයුතු නොකිරීම විමතිය දනවන්නක් වන බවය. එසේම අද දින අගමැතිවරයා හෝ ඒ වෙනුවෙන් මුලිකත්වය ගෙන පක්ෂ නායක හමුවක් කැඳවීමම පවා වැදගත් බවත් විචාරක මතය වී තිබේ.