Language Switcher

V2025

ඉතාලියේ වෙසෙන ලාංකිකයන් 8 කට කොරෝනා : අයෙක් ජීවිතක්ෂයට !

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටියි.

එමෙන්ම වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ඉතාලියේ මෙසීනා නගරයේ විසූ  70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (24) මිය ගොස් ඇතැයි ද ඉතාලි ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ ඔහු  මෙසීනා නගරයේ පිහිටි ක්‍රිස්ටෝ රේ නැමැති සාත්තු නිවාසයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

එම ලාංකිකයාට දැඩි ශ්වසන අපහසුතා පෙන්වීමත් සමග ඉතාලි වෛද්‍යවරුන් ඔහුව හදිසි ප්‍රතිකාර සදහා ⁣වෙනත් රෝහලකට මාරු කිරීමට නියමිත සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

කොරෝනාද කියා තවම තහවුරු නෑ !

කෙසේ වෙතත් එම පුද්ගලයාගේ  වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර වෛරසය ආසාදිත බවට සැකකරෙන පුද්ගලයින් 08 දෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව රෝම තනාපති කාර්යාලය සඳහන් කල අතර ශ්‍රී ලාංකිකයින් 40ත් 50ත් අතර පිරිසක් ඉතාලිය තුල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

“පොදුවේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට අවසර නැහැ''

ඉතාලියේ කොවිඩ් -19 හේතුවෙන් මිය ගිය පිරිස් ආගමික වත්පිළිවෙත් නොමැතිව සමූහ වශයෙන් අවසන් කටයුතු සිඳුකළ බවට ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍යවල පලවී ඇති ප්‍රවෘත්ති අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“පොදුවේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට සඳහා අවසර නොදෙන බව සත්‍යයක් වුවත් යම් අයෙකුගේ අවසන් කටයුතු සඳහා ඔහුගේ හෝ ඇයගේ සමීපතමයන්ට හා පවුලේ සාමාජිකයන් සීමිත පිරිසකට පූජකයෙක් හා සම්බන්ධ වී අවසන් කටයුතු කිරීමට අවස්ථාව දුන්නා. මියගිය සෑම අයෙකුම ඉතාලි සංස්කෘතිය අනුව ආගමික පිළිවෙත් හා නීතිරීති අනුව, මියගිය තැනැත්තාට අතිශයින්ම ගෞරවයෙන් යුතුව තනි තනිව වළලනු ලැබුවා” යැයි තානාපති කාර්යාලය නිවේදනය කරයි.

(මුලාශ්‍රය - ද ලීඩර් )