Language Switcher

V2025

පාර්ලිමේන්තුව කැඳවීම නොසලකා හැරීම - අයිවන්

මේ සටහන ලියන්නට පෙළඹුණේ ඊයේ පළපුරුදු වෛද්‍යවරයෙකු සමග කරන ලද දුරකතන සංවාදයකදී ඔහුගෙන් පාර්ලිමේන්තුව ගැන අසන්නට ලැබුණු ප්‍රකාශයක් නිසාය. ඔහු මා සමග කතා කළේ ගෝලීය වශයෙන් හා ලංකාව කෙරෙහිද බලපා තිබෙන වසංගත තත්ත්වය ගැනය. වසංගත මර්දනයේදී ලංකාව අනුගමනය කරමින් තිබෙන සීමාසහිතකම් ගැනද කතා කළේය. ඒ සියලු දේ කියන අතර “පාර්ලිමේන්තුව නම් කැඳවනවාට වඩා වහලම තියෙන එක හොදයි” කියාද කීවේය.

ලංකාවේ පාර්ලිමේන්තුව දූෂණයෙන් කුණුවී තිබෙන ආයතනයක් වන බවට සැකයක් නැත. එහෙත් පාර්ලිමේන්තුව එම තත්ත්වයෙන් මුදාගැනීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ඇති කරන තෙක් පාර්ලිමේන්තුව වසා දමා හිතුවක්කාරී පාලනයකට ඉඩ හැරීම භයානකය.

පාර්ලිමේන්තුව දූෂිත තත්ත්වයක තිබියදීත් මුළුමනින් නොවෙතත් කිසියම් ප්‍රමාණයක කාර්යභාරයක් එය අතින් සිදුවිය. මහ බැංකුවේ බැඳුම්කර වංචා සොයා ගැනීමට හැකිවූයේ පාර්ලිමේන්තුවක් තිබුණු නිසාය. පාස්කු පහරදීමේ සැඟවුණු තතු කිසියම් ප්‍රමාණයකට හෝ දැනගැනීමට හැකිවූයේ පාර්ලිමේන්තුවක් තිබුණ නිසාය.මේ මොහොතේ ලංකාව තිබෙනුයේ මීට පෙර කවදක්වත් මුහුණ දී නැති තරමේ දැවැන්ත හා සංකීර්ණ අර්බුදයක් ඉදිරියේය. මහජන ඡන්දයෙන් තෝරා පත් කරගත් ජනාධිපතිවරයෙකු සිටියට එම ජනාධිපතිට විධායක බලයක් නැත.

තාවකාලික භාරකාර ආණ්ඩුවක් තිබුණද එයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණි.පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට පුළුවන්කම ලැබෙනු ඇත්තේ කොයි කවරදාද යන්න කිසිවකුත් දන්නේ නැත. ඒ කාලය තුළ කොපමණ මිනිසුන් සංඛ්‍යාවකට මියයන්නට සිදුවේද කියාද කිසිවකු දන්නේ නැත.

රාජ්‍යයේ මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. සියලුම රාජ්‍ය ආයතන ව්‍යවස්ථානුකූලව වගකිවයුත්තේද පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා දින නියමයක් නැතිව පාර්ලිමේන්තුවේ පැවැත්ම අහෝසි කිරීම එම සියලු ව්‍යවස්ථාපිත ආයතනවල නීත්‍යනුකූල පැවැත්ම අහෝසි කිරීමකට සමානය. විගණකාධිපතිවරයාගේ සේ ම ව්‍යවස්ථානුකූල පැවැත්ම රැඳී ඇත්තේ පාර්ලිමේන්තුවේ පැවැත්ම මතය.

දැන් රටට විධායක බලය නැති ජනාධිපතිවරයෙකු හා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබූ තාවකාලික භාර කාර ආණ්ඩුවක් ඇතත් පාර්ලිමේන්තුවක් නැත. ලංකාවට සිය ඉතිහාසය තුළ මුහුණ දෙන්නට සිදුවී තිබෙන දැවැන්තම අර්බුදයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ පාර්ලිමේන්තුවක් නැතිව පාර්ලිමේන්තු අධීක්ෂණයක් නැතිවය.
රාජ්‍යයකට අදාළව හැම දෙයක්මත් සිදුවිය යුත්තේ නිසි අධීක්ෂණයකට යටත්වය.

මෙවැනි දැවැන්ත අර්බුදයකදී ඕනෑම රජයක් අතින් වැරදි සිදුවිය හැකිය. ඒ වැරදි මහජනයාගේ ජීවිත පැවැත්ම කෙරෙහි සේ ම රටේ පැවැත්ම කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑ හැකිය. එම ධර්මතාව මේ ආණ්ඩුවටද අදාළය. මේ අර්බුදය කළමනාකරණයේදී මේ ආණ්ඩුව අතින්ද වැරදි සිදුවී තිබේ. සමහරවිට දූෂිත වුවත් පාර්ලිමේන්තුවක් තිබුණේ නම් පාර්ලිමේන්තුවේ සංවාදයට හා අධීක්ෂණයට ලක්වීම තුළ සමහරවිට සමහර වැරදි නිවැරදි කරගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි.

වසංගත තත්ත්වයක් තිබියදී ඒ ගැන හරි තක්සේරුවක් නැතිව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි බව විශ්වාස කළ අතර එම වැරදි තක්සේරුව වසංගතයේ ව්‍යාප්තියට කිසියම් ප්‍රමාණයකට හෝ බලපෑවේය.මෙම වසංගත තත්ත්වය සලකන ලද්දේ එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද්ධයටත් වඩා පුංචි දෙයක් ලෙසය.

එම යුද්ධයේදී පවා ලොක්ඩවුන් කරන පිළිවෙතක් අනුගමනය නොකළේ නම්, කොරෝනාව මර්දනය කිරීම සඳහා ලොක්ඩවුන් ප්‍රතිපත්තියක් අවශ්‍යවන්නේ ඇයිදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය. ඊට පටහැනි ලොක් ඩවුන් පිළිවෙතක් අනුගමනය කිරීමට ආණ්ඩුවට සිදුවී ඇතත් එක දිගට කිසියම් කාලයක් ලොක් ඩවුන් ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම නිසා ලොක් ඩවුන් ප්‍රතිපත්තියෙන් ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට අසමත් විය. මහජනයා නිවාසවලට සීමා කරන කාලය තුළ ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඔවුන් සිටින නිවාසවලට ලබාදීම සඳහා වන ප්‍රායෝගික වැඩසටහනක් ආණ්ඩුවට නොතිබුණේය.

ඇඟලුම් කර්මාන්තය ලංකාවේ කර්මාන්ත අංශයේ ප්‍රධානතම අංශය වී යැයි කිව හැකිය. ලංකාවේ කාන්තා ශ්‍රම බලකායෙන් ලොකු පංගුවක් ජීවත් වන්නේ ඇඳුම් මැසීමෙනි. එවැනි පසුබිමක් තිබියදී පවා රටට අවශ්‍ය මුහුණු ආවරණ නිපදවා ගැනීමට හැකිවී නැත.ඉදිරියේ ලොකු ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතී. එහෙත් අද දක්වා ලංකාවේ ග්‍රාමීය ජනයා වගා සංග්‍රාමයකට යොමු කිරීමට හැකිවී නැත.

වසංගතය මර්දනය කිරීම සඳහා ජාතික මට්ටමෙන් ගොඩනගා තිබෙන කාර්ය සාධක බලමණ්ඩලයට ඇස්, කන් සඳහා වන වෛද්‍යවරුන් ඇතුළත්ව ඇතත් වසංගත රෝග විද්‍යාඥයන් ප්‍රමාණවත් තරමින් ඇතුළත් කරගෙන තිබෙන බව පෙනෙන්නට නැත.

දූෂිත වුවත් පාර්ලිමේන්තුවක් තිබුණේ නම් අදාළ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වන්නට ඉඩ තිබුණු අතර ඒ මගින් තිබෙන අඩුපාඩුකම් නිවැරදි කරගැනීමටද හැකිවන්නට ඉඩ තිබුණි. මෙම අර්බුදයේදී ලොකු වැය බර පැත්තක් තිබෙන අතර මහා පරිමාණයෙන් විදේශ ණය ලබාගැනීමටද සිදුවනු ඇත. ඒ සියල්ල සිදුවන්නේ පාර්ලිමේන්තු අධීක්ෂණයකින් තොරව නම් එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.

පාර්ලිමේන්තුවක් නැතිව හා එහි අධීක්ෂණයකින් තොරව මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදී පාලනයක් පවත්වාගෙන යාම රටේ යහපතට හේතුවන්නේ නැත. ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවීමේ වැදගත්කම ජනාධිපතිවරයා සේ ම අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුව බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුය. පාර්ලිමේන්තුව නොකැඳවන්නේ නම් ඊට හේතු රටට පැහැදිලි කළ යුතුය.

ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් විරුද්ධ පක්ෂවලට ඒ ගැන උනන්දුවක් දක්වන ව්‍යාපාරවලට හෝ පුද්ගලයින්ට එම ප්‍රශ්නය අධිකරණය ඉදිරියට ගෙන යා හැකිය.

රාවය -  වික්ටර් අයිවන්