Language Switcher

V2025

පොහොට්ටු දේශපාලනයේ කොරෝනා බඩු මලු නිසා : මැතිවරණය කොමිසමට හිසරදය !

වසංගත තත්ත්වය පවතින අවස්ථාවේ ආධාර ලබාදෙන මුවාවෙන් දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු ප්‍රවර්ධනය සිදුනොකළ යුතු බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා කල ප්‍රකාශය කිසිඳු ලෙසකින් නොතකමින් ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් මනාප මෙහෙයුමක නිරතවීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයකට ලක්ව තිබේ.

මේ අවස්ථාවේ සියලුම ආකාරයේ දේශපාලන ප්‍රචාරක කටයුතුවලින් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නාමයෝජනා බාරගැනීමෙන් පසු මැතිවරණය දින නියමයකින් තොරව කල් දමමින් සියලුම දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් වලින් ඉල්ලීමක් කළේය.

මහ මැතිවරණයට අදාල නාමයෝජනා අවසන් වීමත් සමග මැතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් කරන තෙක් එළඹෙන කාල සීමාව මැතිවරණ කොමිසමට සහ අදාල නීති රීති වලට යටත් වෙයි.

පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බඩු බෙදාහැරීමට කැඳවීම !

Basil campaignඑම තත්වය තුළ මැතිවරණ කොමිසමේ ඉල්ලීම පිළිගනිමින්, විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ පාහේ මැතිවරණ කටයුතු වලින් ඉවත්ව ආණ්ඩුව විසින් ගනුලබන ක්‍රියාමාර්ගවලට නිහඬ සහයක් පළකරමින් සිටියදී, ජනාධිපතිවරයා විසින් තම සොයුරකු වන 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පෙරට දමමින් මැතිවරණ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකර තිබේ.

ඒ, අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට ම බෙදා හැරීමේ කටයුතු සංවිධානය සහ සම්බන්ධීකරණය කිරීම සඳහා බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරමිනි.

මේවනවිට එය තවදුරටත් පුළුල් කරමින් ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති මොහොතේ දී පාවා ආණ්ඩුවේ ඇතැම් අපේක්ෂකයින් තම හෙංචයියන් කැඳවමින් ජනතාවට බඩු මලු බෙදා දෙමින් මනාප එකතු කිරීම ආරම්භ කර තිබේ. ඒ ශබ්ද විකාශන යන්ත්‍ර පවා යොදා ගනිමිනි.

'පොහොට්ටු' පක්ෂය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන පක්ෂයකි.

ගෝඨාභයගේ පොරොන්දුවක්  -"එක රටක් එක නීතියක්"

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නිතිය පනවා තිබිය දී පවා, ජනතාවට සහන සැලසීම සඳහා යැයි කියමින් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විසින් මාතර දිස්ත්‍රීක්කයේ ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයින් හා ආධාරකරුවන් කැඳවා 'පොහොට්ටු' මැතිවරණ සලකුණු පසුබිමේ රැස්වීම පැවැත්වීම මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයට ලක්වෙමින් තිබේ.

matara 2

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසුරිය, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ සමයේ දුන් පොරොන්දුවක් ද සිහිපත් කරමින් මෙසේ සඳහන් කර තිබේ.

''කොරෝනා කාලේ ආගමිකවතාවත් කරපු මුස්ලිම් පල්ලියෙ භාරකාරයින්ව අත්අඩංගුවට ගත්ත වගේ මේ පොහොට්ටු ආගාමිකයින්වත් ගන්න ඕනෙ නේ. මේ අකුරැස්සේ (27/03/2020 - 10AM). පොලෝසිය මේ ගැන හොඳින් දනී. අර පල්ලි පොලිස්සියට. මේ වතාවත් ගැන පොලීසියට අමතරව මැතිවරණ කොමිසමටත් වගකීමක් තියෙනව. "එක රටක් එක නීතියක්" ගෝටාගෙ මැතිවරණ පොරොන්දුවක් මතක් කරා''

නාමයෝජනා අවලංගු කර නැති තත්වයක් තුළ.....

කොරෝනා ව්‍යසනය හමුවේ තවත් මාස ගණනාවක් යනතෙක් මැතිවරණයක් පැවැත්වීමේ කිසිඳු ආකාරයේ ඉඩක් නොමැති වුවද මැතිවරණ කොමිසම විසින් මේ වනතුරු නාමයෝජනා අවලංගු කර නොමැත.

එවැනි තත්වයක් යටතේ ඡන්ද අපේක්ෂකයන් සෘජුව හෝ වක්‍රව බඩු මලු බෙදා දීමට සම්බන්ධ වුවහොත්, පවතින නීතිය අනුව නීතිපතිවරයාගේ කැමැත්ත නොවිමසාම එම අපේක්ෂකයන්ට එරෙහිව ඕනෑම පුරවැසියෙකුට පුද්ගලික අපරාධ නඩුවක් හෝ පැවරීමේ අයිතිය ඇති බව නීතිවේදීහු පෙන්වා දෙති.

දණ්ඩ නීති සංග්‍රහයේ 169 (ආ) 1 (අ) වගන්තියට අනුව,

"යම් තැනැත්තෙකුට ඔහුගේ හෝ වෙනත් අයෙකුගේ ඡන්ද බලයක් පාවිච්චි කිරීමට පෙළඹීමේ කාර්‍ය සදහා හෝ ඡන්ද බලය පාවිච්චි කළ නිසා තෑගි දීම සදහා යම් තුටු පඩුරක් දෙන්නා වූ හෝ

(ආ) එබදු බලයක් පාවිච්චි කිරීම ගැන හෝ එබදු බලයක් පාවිච්චි කිරීමට වෙනත් තැනැත්තෙකු පෙළඹවීමට තැත් කිරීම ගැන තෑග්ගක් වශයෙන් තමා වෙනුවෙන් හෝ වෙනත් තැනැත්තෙකු වෙනුවෙන් තුටු පඩුරක් පිළිගන්නා වූ තැනැත්තෙක් අල්ලස් දීමේ වරද කරන්නේය."

"මහජන ප්‍රතිපත්ති ප්‍රකාශයක් හෝ මහජන ක්‍රියා මාර්ගයක පොරොන්දුවක්" හැර අනෙකුත් සියළු ආකාරයට සිදුකරන සංග්‍රහ කිරීම් (එනම්, කෑම බීම, සත්කාර හෝ බඩු බාහිරාදියෙන් තුටු පඩුර යුක්ත වන අල්ලස්) මෙම 'අල්ලස' යන අර්ථ නිරූපණයට ගැනෙන බවද එම නීතිවේදීහු පෙන්වා දෙති.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 78 වන වගන්තිය ‍යටතේ....

දණ්ඩ නීති සංග්‍රහයට අමතරව, 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 78 වන වගන්තිය ‍යටතේ ද මෙවැනි බඩු මලු සහ වෙනත් ද්‍රව්‍ය බෙදාදීම 'සංග්‍රහ කිරීම' යටතේ මැතිවරණ නීතිය උල්ලංඝනය කරන ක්‍රියාවන් වේ.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මැතිවරණ නීතිය මෙන් නොව, දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයාගේ අවසරය නොමැතිව මෙවැනි බෙදාදීම් වලට සම්බන්ධ වන අපේක්ෂකයන්ට එරෙහිව පුද්ගලික අපරාධ නඩුවක් පැවරීමට ඕනෑම පුරවැසියෙකුට හැකියාව ඇත.

බාධකය ඉවත්කර සියලු මහජන නියෝජිතයින්ට අවස්ථාව දෙන්න !

මේ අනුව, මෙවැනි ව්‍යසනකාරී තත්වයක් හමුවේ දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයින්ගේ දායකත්වය ලබාගැනීම සඳහා නාම යෝජනා අවලංගු කර ඔවුන් වෙත මේවනවිට බලපවත්වන මැතිවරණ නීතිමය බාධා ඉවත්කර දෙන ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රජයට බලකර සිටිති. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙසේද ප්‍රශ්නකර තිබේ.

කොරෝනා වෛරසය පැතිරෙන අතරේ, මුළු රටම ඡන්දයකට යොමු කලේ කවුද? මැතිවරණය අවලංගු කිරීමේ අදහසක් නැතැයි කියමින් නාමයෝජනා ගන්නා තෙක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ හා දිසාපති කාර්යාලවල සේවකයින්ට නිවාඩු නොදී සිටියේ කවුද?