Language Switcher

V2025

යුද හමුදාවෙන් වාර්තාගත ක්‍රියාන්විතයක්

පිරිස් බලයත් ගතේ ශක්තියත් සිතේ ස්ථීර අධිෂ්ඨානයත් ඇති තැන මේ ලෝකයේ කළ නොහැකි දෙයක් නැති බව අපට පෙන්වා දෙන බලගතු බල හස්තයක් ලෙස අපේ යුද හමුදාව නිරතුරුවම ක්‍රියාත්මක වෙයි. එදා අතීතයේ සිටම මේ රටට ජාතික ආරක්ෂාවේ වගකීම උපරිමයෙන්ම රැක දුන් අපේ යුද හමුදාව අද මේ වන විට රටේ ජනතාවගේ ආරක්ෂාව පමණක් නොව මහජනතාව විවිධ අංශ වලින් ආරක්ෂා කරලීම පිණිසත් රටේ දියුණුව වෙනුවෙනුත් බොහෝ දේ කරගෙන යයි.

ඒ ආකාරයෙන් පසුගිය සතිය තුළ මේ රට තුළ තුරුළිය ඉන්දවීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කළ යුද හමුදාව ඊයේ (29) අලුයම එක පැයක පමණ කාලයක් තුළ වර්ග කිලෝමීටර් එක්දහස් පන්සියයකට වඩා වැඩි දුර ප්‍රමාණයකින් සමන්විත මේ රට වටා ඇති සමස්ත වෙරළ තීරයම සුද්ධ පවිත්‍ර කර අවසන් කිරීමේ මහඟු වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. ඒ හරහා කාලයක් තිස්සේ අපවිත්‍ර වී විනාශ වී කැළි කසළ ඇතුළු තවත් බොහෝ අපවිත්‍ර ද්‍රව්‍ය මගින් අපිරිසුදුවී තිබූ උතුර, දකුණ, නැඟෙනහිර, බටහිර සියලු පළාත් වටා ඇති සමස්ත වෙරළ තීරයම සුද්ධ පවිත්‍රවීම එකවර සිදු විය.

මේ සඳහා ගත වූයේ පැයක පමණ සුළු කාලයක් වූ අතර, මේ පවිත්‍ර කිරීම සාමාන්‍ය ආකාරයෙන් සිදු වූයේ දින මාස ගණන් ගත වන වැඩපිළිවෙළක් වුවත් අපේ යුද හමුදාව ඉතා කෙටි කාලයක් තුළ මේ දැවැන්ත වැඩසටහන යුද හමුදාවේ හැත්තෑ පන්දහසක පමණ පිරිසක් එක වර රට පුරාම වෙරළ තීරවලට යොදවා ක්‍රියාත්මක කරනු ලැබූ මේ දැවැන්ත මෙහෙයුමේ ප්‍රධාන ස්ථානය වශයෙන් කොළඹ කාක දුපතේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ද විශේෂයෙන් ඒ මහතාගේ දියණියන් දෙදෙනා ඔවුන්ගේ මිතුරියන් පිරිසක් සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාක දුපත පිරිසිදු කිරීමේ සංවිධානයේ ද සහභාගීත්වයෙන් සිදුවීම විශේෂත්වයක් විය.

ඊයේ (29) උදේ හයට පමණ කොළඹ කාක දූපතෙන් මේ මෙහෙයුම ආරම්භ වෙද්දී දිවයිනේ සෙසු හමුදා බළ ඇණිවලින් එක්වූ භට පිරිස් සමස්ත රට වටා පිහිටි වෙරළ තීරයම එකවර පිරිසිදු කරනු ලැබිණි.

මෙරට ඉතිහාසයේ රට පුරා සිටින හමුදා භට පිරිස් එකට එකතුවී එකවර මෙවැනි සුවිශේෂි වැඩසටහනක් එකවර ක්‍රියාත්මක කරන ලද ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.

යම් රටක් සශ්‍රීක වෙයිද ? ඒ රට දියුණුවෙන් දියුණුවට පත් වෙයිද? ඒ ඒ රටේ නායකයාගේ වාසනා ගුණ මහිමයේ බලපෑමද මතය. ඒ වගේම හමුදාවක කටයුතු දියුණුවෙයිද එම හමුදාව කාර්යක්ෂම වෙයිද එසේත් නොමැති නම් ඵලදායී දෙයක් හරහා රටට යම් සෙතක් සිදු කරයිද ඒ එම හමුදාවේ නායකයාගේ මඟ පෙන්වීම කාර්යක්ෂම භාවය මෙන්ම ඒ නායකයාගේ චිත්ත ධෛර්ය ආත්ම ශක්තිය මෙන්ම බුද්ධිමත් භාවයත් වාසනා ගුණයත් මතය.

මීට වසර දහයකට පෙර රටට පිළිලයක්ව පැවැති ත්‍රස්තවාදය තුරන් කිරීමට කැපවූ අපේ ආරක්ෂක අංශ ඉන් අනතුරුව නිකම්ම නිකම් බැරැක්කවලට කොටු වී නොසිට රටේ දියුණුවටත් මහජනතාවගේ ආරක්ෂාව පැවැත්ම වෙනුවෙන් බොහෝ කටයුතු සඳහා මහඟු දායකත්වයක් ලබා දෙනු ලබයි.

එවකට හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම මත යුද හමුදාව ප්‍රමුඛ සියලු ආරක්ෂක අංශ යුද්ධයෙන් පසු විවිධ කර්තව්‍යයන් සඳහා යොදවනු ලැබූ අතර, ඒ හරහා ලෝකයේ බොහෝ රටවල් මවිත කරවන කටයුතු පවා යුද හමුදාව මගින් සිදු කෙරුණි.

වර්තමාන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෑම අවස්ථාවකම උත්සාය කරන්නේ සිය හමුදාව රටේත් ජාතියේත් ආරක්ෂාව වෙනුවෙන් වගකීම දරා කටයුතු කරන අතරතුර රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් ඵලදායී බොහෝ දේ සිදු කිරීමට යොමු කිරීමයි. ඒ අනුව සිය හමුදාපති ධුරය බාරගත් කාලයේ සිටම අද දක්වා හමුදාපතිවරයා විසින් නව සංකල්ප බිහි කරමින් හමුදාව යොදවා බොහෝ ඵලදායී වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව පසුගිය සතියේ රට පුරා රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලදුව අකුරේගොඩ නව යුද හමුදා මූලස්ථානය දෙසට ගමන් කරන කිලෝමීටරයකට වැඩි දුරක් ඇති මහ මඟ දිගට රුක් රෝපණය කිරීම මහා පරිමාණයෙන් සිදු කරනු ලැබිණි. විදෙස් රටවලින් ලබා ගන්නා ලද විවිධ අත්දැකීම් ද උපයෝගී කර ගනිමින් බත්තරමුල්ල ජයවර්ධනපුර ප්‍රදේශයෙන් ආරම්භ කරන ලද මේ රුක් රෝපණ වැඩසටහන මේ වන විට යුද හමුදා සාමාජිකයන් යොදා දීපව්‍යාප්ත වැඩසටහනක් ලෙස සිදු කරගෙන යනු ලබයි.

එම වැඩසටහන ආරම්භ කර සතියක කාලයක් ගතවීමටත් පෙර යුද හමුදාපතිවරයාගේ ඊළඟ සංකල්පය බවට පත් වී ක්‍රියාත්මක කරනු ලැබුවේ ඊයේ ආරම්භ කරන ලද රට වටා ඇති වෙරළ තීරය පිරිසිදු කර සුන්දර වෙරළ තීරයක් ඇති කර සංචාරකයන්ගේ සිත් ගන්නා පරිසරයක් බවට පත් කිරීම පමණක් නොව මහජනතාවට සෞඛ්‍යාරක්ෂිත වෙරළ තීරයක් මෙන්ම වෙරළ තීරය අපිරිසිදුවීම හරහා විනාශයට පත්වෙන අපේ මුහුදු සම්පත් අතර විශේෂයෙන් මහජනතාව පරිභෝජනයට ගන්නා මාළු සම්පත ආරක්ෂා කර ගැනීමට කටයුතු කර ගැනීම වෙයි.

මෙරට වෙරළ තීරය අපිරිසුදුවීම ලෝකයේ රටවල් අතරින් පස්වැනි තැනට පත්ව සිටින බව පවසන හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ වෙරළ තීරය අපිරිසුදු වී තිබෙන්නේ හුදෙක් මහජනතාවගේ නොසැලකිලිමත් භාවය නිසාම බැවින් මේ පිරිසිදු කිරීම පමණක් නොව වෙරළ තීරය අපිරිසුදුවීම මුහුදු සම්පත අපිරිසුදුවීම සෞඛ්‍යයට හානි කර විවිධ සම්පත් ලබා දෙන සාගරය ඉන් මුදා ගැනීම සඳහා මහජනතාව දැනුවත් කිරීම මගින් මේ ඛේදවාචකයේ මූලාරම්භයට පිළියම් යෙදීමේ අරමුණ ඇතිව බවයි.

හමුදාපතිවරයාට මේ මහඟු අරමුණ ක්‍රියාත්මක කිරීමේ බීජ සංකල්පය පිටුපස ඇත්තේ දිගු කතාවකි. එනම් එම කතාවේ ආරම්භය හමුදාපතිවරයාගේ දියණියගේ අධ්‍යාපන කටයුතු හරහා සිදු කරන ලද සමීක්ෂණයකින් සොයා ගන්නා ලද මහා භයානක ප්‍රතිඵල ගෙන දෙන ලද කරුණක් වෙයි. එනම් හමුදාපතිවරයාගේ වැඩි මහල් දියණිය වූ විනුරි සිල්වා ඕස්ට්‍රේලියාවේ සමුද්‍ර ජීව විද්‍යාව හා සම්බන්ධ උපාධියක් හදාරා මේ වන විට එහි පී.එච්.ඩී. අවසන් අදියර හදාරනු ලබන අතර, ඇය විසින් ඊට අදාළව සමීක්ෂණයක් සිදු කර තිබේ. එම සමීක්ෂණය සඳහා ඕස්ට්‍රේලියාවේ එම විශ්වවිද්‍යාලය ද නාරා ආයතනය ද උදවු කර ඇති අතර, එහි දී සොයා ගන්නා ලද භයානකම සාධකය නම් අප විසින් ආහාරයට ගන්නා කුඩා මාළු වර්ගවල සිරුරේ ආහාර පද්ධතිය තුළ මිනිස් සිරුරට අහිත කර විශාල වශයෙන් පිළිකා රෝග කාරක ඇතුළත් ප්ලාස්ටික් තිබෙන බවයි.

මීගමුව, කොළඹ, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු විවිධ පළාත්වලට ආසන්න මුහුදු ප්‍රදේශවලින් අල්ලා ගන්නා ලද කුඩා මාළු වර්ග වනසාලයා, හුරුල්ලා, හාල්මැස්සා ඇතුළු විවිධ කුඩා මාළුන්ගේ සිරුරුවලින් මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සොයා ගෙන තිබුණි. විනුරිගේ මේ සමීක්ෂණය මේ වන විට බොහෝ පරීක්ෂණ කණ්ඩායම්වල සහ ඇය විසින් අධ්‍යාපනය හදාරණ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම්වල ද නාරා ආයතනය ඇතුළු බොහෝ පිරිස්වල දැඩි අවධානයට යොමු වී ඇත. මේ වන විට මේ සමීක්ෂණය තවදුරටත් වැඩි දියුණු කරමින් ඇය විසින් සිදු කරන ලබන පී.එච්.ඩී. උපාධිය හරහා වැඩි දියුණු කරමින් සිදු කරගෙන යනු ලබයි.

සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් අතරින් විශාල වශයෙන් අපද්‍රව්‍ය බැහැර කරනු ලබන්නේ මුහුදටයි. ඒ අතරින් ප්ලාස්ටික් සහ ඉටි කොළ වැනි දිරාපත් නොවන අපද්‍රව්‍ය විශාල වශයෙන් මුහුදට එකතු වෙයි. මේවා මුහුදු රැල්ල මගින් ගොඩබිමට ගසාගෙන යන අතර, නැවතත් වෙරළ තීරයට මේවා එකතු වෙයි.

අප රටේ වෛද්‍යවරුන් විසින් බෙහෙවින්ම සෞඛ්‍යයට හිත කර ආහාරයක් බවට පෙන්වා දෙන්නේ කුඩා මාළු වර්ග වෙයි. එහෙත් මේ වන විට සිදු කර ඇති සමීක්ෂණවලට අනුව කුඩා මාළු වර්ගයන් අතරින් සියයට හැත්තෑවක පමණ පිරිසකගේ සිරුර තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇති බවට හෙළිදරව් වී තිබේ. මේ තත්ත්වය අප මිනිස් ජීවිතවලට බරපතළ හානි කර දෙයක් වෙයි.

මේ තත්ත්වය දෙස බැලූ හමුදාපතිවරයා කෙසේ හෝ මුහුදු සම්පතට රටේ ජනතාවගේ නොසැලකිලිමත් භාවය තුළින් එකතු වෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුවීම වළක්වාලීමටත් ජලයට ගසාගෙන ගොස් නැවත වෙරළ තීරයට එකතු වී වෙරළ තීරය අපවිත්‍රවීම මෙන්ම සෞඛ්‍යයට හානි වන එම ප්‍රදේශය සුද්ද පවිත්‍ර කිරීමත් සිය හමුදා භට පිරිස් යොදවා කඩිනමින් සිදු කළ යුතු බවට සංකල්පයක් ඇති කරගෙන ඊයේ එය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය.

ඊයේ කාක දූපතෙන් ආරම්භ වූ මේ වැඩසටහනට සම්බන්ධ වී තමා විසින්ම කුණු එකතු කර සෙසු හමුදා භට පිරිස් සමඟ හරි හරියට වැඩ කළ හමුදාපතිවරයාගේ කර්තව්‍යයට සිය දියණියන් දෙදෙනා සමඟ ඔවුන්ගේ මිතුරියන් පිරිසක් ද එකතු වී ජරා වාස වී තිබූ කාක දුපතේ කුණුකන්දල් සිය දෑතින්ම එක් රැස් කරමින් මහජනතාවට මහඟු ආදර්ශයක් දෙමින් සුවිශේෂී කර්තව්‍යයක් ඉටු කළේ සිය අදහස් වචනයට පමණක් නොව ක්‍රියාවටද නංවන බව සක් සුදක් සේ පෙන්වා දෙමින්ය.

සීතල කාමරයකට වී සැප විඳින ජීවිතයක් ගෙවන පිරිස් සිටින රටක සිය දියණියන් ද රැගෙන මේ ආකාරයෙන් හමුදා භට පිරිස් ද සමඟ කාක දූපත පිරිසිදු කර සංචාරකයන්ගේ ද සිත් ඇද ගන්නා පිරිසරයක් බවට පත් කිරීමට හමුදාපතිවරයා ඇතුළු භට පිරිස්වලට ගත වූයේ පැයක පමණ කාලයක් වෙයි.

මේ ආකාරයෙන් රටේ වර්ග කිලෝ මීටර් එක්දහස් පන්සියයකට වැඩි දුර ප්‍රමාණයක් පැයක පමණ කාලයක් තුළ පිරිසුදු කර සුන්දර පරිසර බවට පත්වෙද්දී මේ කර්තව්‍ය අගයා රටේ ජනතාවත් විවිධ කණ්ඩායම් හමුදාපතිවරයා ප්‍රමුඛ සමස්ත යුද හමුදාව වෙනුවෙන් සුබ පැතුම් එක් විය.

මෙහිදී මේ වැඩපිළිවෙළ මාසයේ සෑම අවසන් ඉරිදා දිනයකම ක්‍රියාත්මක කිරීමට හමුදාපතිවරයා විසින් සිය හමුදාවන්ට නියෝග කරනු ලැබිණි. එහි දී හමුදාපතිවරයා කියා සිටියේ යුද හමුදාව ජාතියේ මෙන්ම රටේ ආරක්ෂාවේ වගකීම උසුළන අතරතුර රටේ මහජනතාවගේ ද රටේ දියුණුව වෙනුවෙන් ද කළ හැකි සෑම දෙයක්ම සිදු කරනු ලබන බවයි. ඒ හරහා රුක් රෝපණය කරමින් දෑසට නීල භරිත රටක් ඇති කිරීමට මේ ආකාරයෙන් පරිසරය සුද්ධ පවිත්‍ර කිරීමත් සිදුකරගෙන යන අතර, ඉදිරියේ දී තවත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්ය.

විශේෂයෙන් මේ සුද්ධ පවිත්‍ර කිරීම හරහා පමණක් මේ ව්‍යසනය නවත්වාලිය නොහැකි වන අතර, මේ ව්‍යසනයට බීජය උපදවන ස්ථානයේ සිට ඊට පිළියම් යොදමින් මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන් තමාට ලැබී ඇති තොරතුරු මත බස්නාහිර ප්‍රදේශය හරහා වෙරළ තීරය අපවිත්‍රවීම කැලණි ගං තීරය ඔස්සේ පදිංචි වී සිටින පිරිස් විසින් ගඟට එකතු කරන අපද්‍රව්‍ය බෝතල් ඉටි කොළ ඇතුළු විවිධ අපද්‍රව්‍ය හරහා සිදු වන බවත් එම පිරිස් පමණක් නොව මුහුදට එකතු වන ගංගාවන්ට හිතා මතාම අපද්‍රව්‍ය එකතු කරන බොහෝ පිරිස් විසින් මේ අපද්‍රව්‍ය එකතු කිරීම වළක්වා මේ හරහා රටටත් මහජනතාවටත් මුහුණ දීමට සිදුවී ඇති ඛේදවාචකයෙන් බේරා ගැනීමට උදවු කළ යුතු බවත්ය.

යුද හමුදාවේ වගකීම රටේ ආරක්ෂාවත් මහජනතාවගේ ආරක්ෂාවත් සිදු කිරීම පමණක් නොවේ රටේ ජනතාවගේ සනීපාරක්ෂාව, ඔවුන්ට මුහුණ දීමට සිදු වන ඛේදවාචක ලෙඩ රෝග ආදියෙන් ඔවුන් මුදා ගැනීමත් යුද හමුදාවේ වගකීමයි. ඒ වගේම මේ රට සුන්දර රටක් ලෙස විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් කර මේ රට ලෝකයේ සුන්දර රටක් ලෙස පවත්වාගෙන යෑමටත් යමක් කළ හැකි නම් යුද හමුදාව එම කර්තව්‍යය මොන තරම් දුෂ්කර වුවත් එය ඉටු කරන බවද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.