V2025

පුවත්

අධිකරණ තීන්දුවක් නිසා පාදෙණියලා ගැස්සෙයි !

වසර පහකට අධික කාලයක් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති ධුරය රැඳී සිටි අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායම තවදුරටත් එම සංගමයේ නිලතල නොදරමින් සංගමයේ නිලවරණය ස්වාධීනව පැවැත්වීමට ඊයේ (22) මොරටුව දිසා අධිකරණයේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

එසේම මෙවර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නිලවරණය සඳහා නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට එම ධුරය සඳහා තරඟ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසද මෙම අතුරු තහනම් නියෝගය මගින් දන්වා තිබේ.

අතුරු පාලක මණ්ඩලයක් හරහා ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මැතිවරණය පවත්වන ලෙසත් ඊට යෝජනා කැඳවන ලෙසත් දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය සංගමයේ ක්‍රියාකාරිත්වය අහෝසි වන බවත් එම අධිකරණ නියෝගයේ සඳහන් තර ඇත.

මෙවර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නිලවරණය සඳහා ඉදිරිපත් වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ අපේක්ෂක ඉල්ලුම් පත්‍රය අවලංගු කිරීම හේතුවෙන් ඔහු විසින් මෙම අතුරු තහනම් නියෝගය ඉල්ලා සිටියේය.

lantha truth

පොල් සම්බෝල ආර්ථිකය ගැන බන්දුලගේ කතාව ! (වීඩියෝ )

පොල් සම්බෝලයි බතුයි - පරිප්පුයි බතුයි හරි කන්න අපි ජනතාවට අවස්ථාව හදලා තියනවා යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර "ඕනෙ කෙනෙක්ට මාසෙකට දහදාහ, පාළොස්දාහ, විසිදාහ බැගින් පඩි වැඩි කරන්න පුළුවන්. හැබැයි ඒ වැඩි කරන හැම සතයක්ම මේ රටේ මිනිස්සු මත බදු පනවලා හූරලා ගන්න ඕනෙ. වෙන විකල්පයක් තියෙනවා මම කරුණාකරලා ඒ කියන පාර්ශ්වයන්ට කියනවා කොහෙන්ද ඒක ගන්නෙ කියලා. එහෙම නැත්නම් තියෙන රාජ්‍ය දේපළ එහෙම් පිටින්ම විකුණන්න ඕනෙ. වැට්වලින් ලැබෙන ආදායම බිලියන 233 යි. වැට් හතර ගුණයකින් වැඩි කළොත් 400%කින් වැඩි කළොත් ලබාගන්න පුළුවන් වෙන්නෙ බිලියන 932 යි. ගත්ත රාජ්‍ය ණයවලට පොළී ගෙවන්න තියෙනවා බිලියන 980 ක්. එතකොට වැට් එක හතර ගුණයකින් වැඩි කළත් රාජ්‍ය ණයවල පොළී ගෙවන්න බෑ" යනුවෙන්ද පැවසීය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝවේ.

කොරෝනා මරණ 4000 පනියි : ඩෙල්ටා ආසාදිතයන් 68 ක් !

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 43ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4002ක් දක්වා ඉහළ යයි.

එසේම මේ වන විට මෙරට කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පිරිස 68ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් හඳුනාගෙන ඇති එම ප‍්‍රදේශ මෙසේය.

කොලොන්නාව

කෝට්ටේ

නවගමුව

මහබාගේ

අංගොඩ

රත්මලාන

කටුනායක

මීගමුව

බේරුවල

ගාල්ල

මාතර

දඹුල්ල

වව්නියාව

මුලතිව්

ජාතිවාදී නොවී නීත්‍යානුකුල ලෙස විමර්ශන කරන්න : සජබ නිවේදනයක් !

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දී්න්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි දැරියක මියයාම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර ඇත.

සජබ මහ ලේකම් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ ජාතිවාදී ස්වරූයකින් එහි පරීක්ෂණ සිදු නොකොට නීත්‍යානුකූලව විමර්ශනය කොට වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන ලෙසය.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

sjb 1536x1536

 

පක්ෂ 6ක් සාකච්ඡා මේසයට : පෙසප ලිපියට පක්ෂ 2ක් දැනටමත් එකඟයි !

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ මෙන්ම පසුගිය දශක ගණනාවක ලංකාවේ ආණ්ඩු ගෙන ගිය වැරදි පිළිවෙත් හේතුවෙන් මේ වනවිට ලංකාවේ උද්ගත වෙමින් පවතින බරපතළ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේ මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවකට වෙලාව වෙන්කර දෙන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු දේශපාලන පක්ෂ කිහිපයක් වෙත මෙම ලිපිය යොමුකර තිබේ.

පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසින් අත්සන් කළ මෙම ලිපිය, ජනතා විමුක්ති පෙරමුණේ, කොමියුනිස්ට් පක්ෂයේත්, සමසමාජ පක්ෂයේත් දෙමළ ජාතික සන්ධානයේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේත් ලේකම්වරුන් වත මෙම ලිපිය යොමුකර ඇත.

ඇතිවෙමින් තිබෙන ආර්ථික දුෂ්කරතා හමුවේ පැන නැගෙන ජනතා විරෝධය විපක්ෂයේ බලලෝභී අරමුණුවලට පමණක් භාවිතා වීම වෙනුවට ජනතා ගැටලු සම්බන්ධ විසඳුම් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රිලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට අදහස් කරන බව පෙ.ස.ප. පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ඒ අරමුණ ඇතිව ලිඛිතව පක්ෂ ලේකම්වරුන් වෙත ලියමින් සාකච්ඡා සඳහා වෙලාවක් ඉල්ලා සිටි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (22) මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

මෙම ලිපි සම්බන්ධයෙන් ප්‍රතිචාර ලෙස සාකච්ඡාවකට සූදානම් බවට ලංකා සමසමාජ පක්ෂයේ හා කොමියුනිසිට් පක්ෂයේ අදහස් තමන් වෙත ලැබී ඇති බවද සෙසු පක්ෂවල ප්‍රතිචාර ලැබෙන්නට නියමිත බවද ඔහු පැවසීය.

පහත සටහන් වන්නේ පොදුවේ සියලුම පක්ෂවලට යවන ලද ලිපියේ අන්තර්ගතය බව පෙ.ස.ප. මාධ්‍ය ඒකකය පවසයි.

කුමාර් මහත්තයාගේ ලිපිය !

"ප්‍රධාන ලේකම්,

............................. පක්ෂය

පවතින දේශපාලන තත්වය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් සිදුකිරීම

මේ වනවිට ලංකාව ඉතා බරපතල ආර්ථික අර්බුදයකට ගොදුරු වී තිබේ. විශේෂයෙන් විදේශ විනිමය උත්පාදන මාර්ග බිඳ වැටී ඇති අතර වැඩකරන ජනතාවගේ දෛනික ආර්ථිකය විශාල අර්බුදයකට ලක්වී ඇත. අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ බොහෝ අයගේත්, වැටුප් ශ්‍රමිකයන්ගේත්, ගොවි-ධීවර ආදී ක්ෂේත්‍ර වලත් ආදායම් වල මූර්ත අගය පමණක් නොව එහි සංඛ්‍යාත්මක අගයද අඩුවී ඇති බව අවිවාදිතය. මේ අර්බුදය හමුවේ දිගින් දිගටම ණය ගැනීම, මුදල් මුද්‍රණය කිරීම, මහජන දේපල හා රාජ්‍ය ව්‍යවසායන් විකිණීම, අධ්‍යාපනය - සෞඛ්‍ය සේවය ඇතුළු සමාජ ආරක්ෂණ සේවා වාණිජකරණය කිරීම, ධන කුවේරයන්ට බදු සහන දෙන අතර ජනතාව මත බදු බර පැටවීම වැනි ක්‍රියාමාර්ග ගැනීම නිසා අර්බුදය ව්‍යසනයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.

මෙම ආර්ථික අර්බුදයට අමතරව දේශපාලන-සමාජ-සංස්කෘතික-පාරිසරික අර්බුද විසින් ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කෙරෙමින් ඇත. පවතින අර්බුදය සිය භූ-දේශපාලනික බල අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමට එක්සත් ජනපදය - චීනය - ඉන්දියාව ඇතුළු අධිරාජ්‍යවාදීන්, ලෝක බලවතුන් හා කලාපීය බලවතුන් ප්‍රයත්න දැරීමත් සමග සමස්ත ලාංකේය ජනතාවගේ ආරක්ෂාව අවදානමකට ලක්ව තිබෙන බව නොරහසකි. ආණ්ඩුව මේ තත්වයට මුහුණ දීමට සැරසෙන්නේ සමාජයේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වඩවඩාත් කප්පාදු කරමින් සහ ජාතිවාදය-ආගම්වාදය හරහා ජනතාව අසමගි කර ගැටුම් වලට පෙළඹවීමෙන් බවද නිරීක්ෂණය කළ හැක. වර්තමානය වන විට සියළු ක්ෂේත්‍ර ආවරණය කරමින් දියත් වන මිලිටරීකරණය බරපතල සමාජමය අභියෝගයක් ලෙස අපට අභිමුඛ වී තිබේ. වසංගතය හමුවේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පියවර නොගත් ආණ්ඩුව මේ වනවිට නිරෝධායන නීතිය භාවිතා කරමින් සිටින්නේ උද්ඝෝෂණ මර්දනය සඳහා බව මෑත කාලීන සියළු උදාහරණ වලින් තහවුරු වේ.

මෙම තත්වය පිළිබඳවත්, ඒ හමුවේ එයට මුහුණ දීම සම්බන්ධයෙන් අප අතර සාකච්ඡාවක් සිදුවිය යුතු බව විශ්වාස කරමු. එම සාකච්ඡාව සඳහා දිනයක් සහ වෙලාවක් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමු. ස්තූතියි. මෙයට,

කුමාර් ගුණරත්නම්

ප්‍රධාන ලේකම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2021 ජුලි 21"

පාලකයාට වුවද ගුරුවරයෙකු සිටි බව අද අමතක වෙලා - ජාතික අවදි සභාව !

පාලකයාට වුවද ගුරුවරයෙකු සිටි බව අද අමතකවි ඇති බව පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති බෝසෙත් කළහෙපතිරණ පවසයි.

මේ වන විට රජය ජාතික අර්බූදයක් බවට ගුරු - විදුහල්පති ගැටලුව පත්කරගෙන තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති බෝසෙත් කළහෙපතිරණ මෙම අදහස් දක්වා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ දි ඊයේ (22) පැවැත්වූ ජාතික අවදි සභාවේ මාධ්‍ය හමුව අමතමින්ය.

අද ගුරුවරයා යනු ජාතියේ පෙරගමන් කරු යන විරුද නාමයෙන් පිදුම් ලැබු කොටසක් බවත්සෑ ම ⁣ක්ෂේත්‍රයකට ම , වෘත්තීයකට ම ගුරුවරයෙකු සිටි බවත් ⁣එසේ නොවුයේ නම් එම ⁣ක්ෂේත්‍රයන් මෙතරම් දියුණු නොවන බවත් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති බෝසෙත් කළහෙපතිරණ මෙසේද පැවසීය.

අද ගුරුවරයා හිඟන්නෙකුගේ තත්ත්වයට පත් වි ඇති බවක් එය තරමක් දුරට හෝ ගුරුවරයාගේ සේවය අගයා ගුරුසේවයක් පිහිටුවීමේ ගෞරවය හිමිවන්නේ 1994 .10.06 දින සිට ක්‍රියාත්මක කළ එවකට අධ්‍යාපන ඇමතිව සිටි රිචඩ් පතිරණ මහතාට යි. එතුමා මෙම සේවය 1995 .04.03. දිනැති අංක 865 / 3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ස්ථාපිත කර 1997 .03.11 දිනැති අංක 996/5 සහ 1997 .05.14.දිනැති අංක 975/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර මගින් සංශෝධිත විධිවිධාන යටතේ ශ්‍රී ලංකා ගුරුසේවය 3 වන පන්තියේ ¡¡ ශ්‍රේණිය 3 වන පන්තියේ ¡ ශ්‍රේණිය 2 වන පන්තියේ ¡¡ ශ්‍රේණිය 2 වන පන්තියේ ¡ ශ්‍රේණිය 1 වන පන්තිය වශයෙන් ශ්‍රේණි ගත කෙරුනා. ඒ අනුව 95/7 හා 97/5 චක්‍රලේඛ මගින් 1995 .01.01. දින සිට හිමිසේ සලකා ක්‍රියාත්මක කළා.

අදවන විට මෙම ශ්‍රේණිධාරී ගුරුභවතුන්ගේ මූලික වැටුප බවට පත්වී තිබෙන ප්‍රමාණය දෛනිකව ගණනය කර බැලූවිට මේසන් බාස් කෙනෙකුගේ තියා අත් උදව්කරුවකු ලබාගන්නා තරමේ වැටුපකටවත් හිමිකම් කියන්නැ.

3 - ¡¡ ශ්‍රේණිධාරී (මාසිකව) 27,740.00.දිනක වැටුප 924.00 3 - ¡ - ( අ )ශ්‍රේණිධාරී (මාසිකව ) 29,540.00 දිනක වැටුප 984.00 3 - ¡ ( ආ ) ශ්‍රේණිධාරී - 30,300.00 දිනක වැටුප 1010.00. 3 - (ඇ ) ශ්‍රේණිධාරී 32,000.00 දිනක වැටුප 1073.00. 2 - ¡¡ ශ්‍රේණිධාරී 33,300.00 දිනක වැටුප 1110.00. 2 - ¡ ශ්‍රේණිධාරී 39,175.00 දිනක 1305.00 1 - ⁣ශ්‍රේණිධාරී 44,950.00 දිනක වැටුප 1498.00. මේ වු ගුරු ශ්‍රේණිධාරී ගුරුභවතුන් හට වාර්ෂිකව උපයාගත යුතු වර්ධක ප්‍රමාණය ද ඉතාම සොච්චම් මුදලකි. එය ද ශ්‍රේණි මට්ටම්න් ගණනය කර බැලු විට එය හොඳින් ම හඳුනාගත හැකිය. 3 - ¡¡ ශ්‍රේණිධාරී - වාර්ෂික වර්ධකය 300.00. 3 - ¡ - ( අ - ආ) ශ්‍රේණිධාරී - වාර්ෂික වර්ධකය .380.00. 3 - ¡ ( අ ) ශ්‍රේණිධාරී වාර්ෂික වර්ධකය 445.00. 2 - ¡¡ ශ්‍රේණිධාරී වාර්ෂික වර්ධකය 495 ×5 - 680 × 5 = 2 - ¡ ශ්‍රේණිධාරී වාර්ෂික වර්ධකය 825.00 1 - ශ්‍රේණිධාරී වාර්ෂික වර්ධකය 1335.00 බි.සි.පෙරේරා වැටුප් කොමිසම මගින් 1997 දි 1995 සිට ශ්‍රී ලංකා ගුරු සේවයට හා විදුහල්පති සේවයට පවතින විෂමතා දුරුකොට දීප ව්‍යාප්ත සේවාවල සමාන්තර වැටුප් පරිමාණයන් යෝජනා කෙරුනා. මෙම යෝජිත බි.සි. පෙරේරා වැටුප් විෂමතාව දුරුකොට 2020.01.01. සිට ක්‍රියාත්මක කිරීමට තිබුනා. එය එලෙසින් ක්‍රියාත්මක වූයේ නම් වැටුප් පරිමාව විය යුතුව තිබු අගය මේ ආකාරයටයි. 3 - ¡ -( ඈ ) ආරම්භක වැටුප 38,992.00--- විෂමතාව 9452.00 3 -¡ - (ආ ) ආරම්භක වැටුප 39,996.00 විෂමතාව 9696.00 3 - ¡ - (අ ) ආරම්භක වැටුප 42,504.00 විෂමතාව 10,340.00 2 - ¡¡ ආරම්භක වැටුප 47,615.00 විෂමතාව 14,315.00 2 - ¡ - ආරම්භක වැටුප 62,595.00 විෂමතාව 23,400.00 1 - ආරම්භක වැටුප 76,175.00 විෂමතාව 31,225.00

මේ වු වැටුප් විෂමතාව පවතින රජය බලයට පත්වු විට අතහැර දැමීමට තීරණය කළා. වසර 24 කාලයක් පුරාවට ගුරු- විදුහල්පති ක්ෂේත්‍රයේ තිබු විෂමතාව 2020.01.01. සිට ක්‍රියාත්මක වීමට තිබුණ දෙයක්. මෙ වු අසාධාරණයට ලක් ව වසර 24 පුරාවට දුක් විඳි ගුරු- විදුහල්පතිවරු මෙ කොරෝනා ව්‍යසනය තුළ ස්වෙච්ඡාවෙන් ම අධ්‍යාපනයට අත දි කටයුතු කළා.

ඔවුන් ට දිරි දීමනා නැහැ.ප්‍රවහන දීමනා නැහැ.අතිකාල දීමනා නැහැ.තාක්ෂණික මෙවලම් පහසුකම් සඳහා දීමනා නැහැ.නිල ඇඳුමි දිමනා නැහැ. මේ කිසිදු වරප්‍රසාදයක් නැති කොට්ඨාසයක් තමයි ගුරුවරු කියන්නේ. එහෙම ගුරුවරුන්ටයි " කාලකණ්ණි " කියලා ආමන්ත්‍රණය කළේ.මේ රජය බිහි කරන්න ගුරු ක්ෂේත්‍රයේ 80% කගේ බලයක් දුන්නා . පසුගිය ආණ්ඩුවෙන් රුපියල් 10,000/ ක වැටුප් වැඩිවීමකුත් ලබා දී තිබියදි තමයි එහෙම සහයෝගයක් ලබා දුන්නේ. දැන් ඒ වැටුපෙත් මුර්ත වටිනාකම 50% කින් අඩුවෙලා. උද්ධමන අගය අහස උසට .ජීවත් වෙන්න බැරි තරමට ජීවන වියදම.බඩුමිල ගැන කතා කරන්න බැරිතැනට.එලොව පොල් පෙනවා. ඉන්ධන මිල ගැන කතාකරලාම වැඩක් නැහැ.

තාක්ෂණික මෙවලම්වල මිල ඉතාම ඉහළ අගයක්. එහෙම තියෙද්දියි ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපන ස්වෙච්ඡාවෙන්ම කළේ.ඒ කටත් ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන් 40% ටයි.පහසුකම් නැති දරුවන් 60% ක් ඉන්නවා .එ ළමයින්ට මොනම අධ්‍යාපනයක් වත් නැ. රජය ඒ සඳහා කිසිදු වැඩ පිළිවෙළක් දියත් කරළා නැහැ. එහෙම තත්ත්වයක ජාතියේ දරුවන්ට හැකි පමණින් ස්වෙච්ඡාවෙන් සේවය කළ ගුරුවරුන්ටයි කාලකණ්ණි කිවේ. ඒ තරමට ගුරුවරයා පහත් කළා. රජය එ වෙනුවෙන් ගුරුපුරෙන් සමාව ගත යුතුයි.ඔය ආණ්ඩුවෙි සිටි ඇතැම් මන්ත්‍රීවරුන් ගුරුවරුන් දණ ගැස්සුවා අපට මතකයි.

අධ්‍යාපනයක් නැති ආණ්ඩුවක් අධ්‍යාපනයට සලකයි කියලා විශ්වාස කරන්න අමාරුයි.ආණ්ඩුවේ වියත්මගේ වැඩවලින් ම පේනවා වියත්බව.නිදහස් අධ්‍යාපන ,නිදහස් අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි බද්ධ වෛරයක් මේ ආණ්ඩුවට තියෙන්නේ. එ නිසයි අධ්‍යාපන පෞද්ගලීකරණය කරන ව්‍යාපෘති ගෙනෙන්නේ. එක අවස්ථාවක මේ ආණ්ඩුවේ අයම සයිටම් ගෙනාවා. දැන් කොතලාවල පනතින් කරන්න හදන්නෙත් ඒ දෙයමයි. ඒක තව දුරටත් මිලිටරීකරණය කරන්න හදනවා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා සියල්ල මිලිටරීකරණය කරමින් ගියේ. බොහොමයක් ආයතනවලට හමුදා නිලධාරීන් පත්කිරීමෙන් ම ඒක පෙවුණා. එහි තවත් දිගුවක් තමයි මේ අධ්‍යාපනයට අත දැමීම. අධ්‍යාපනය හමුදාවට භාර දෙනවට අපි විරුද්ධයි. හමුදාවට අධ්‍යාපනය ලබා දෙනවට අපි විරුද්ධ නැහැ. හමුදාව සතුව තිබූ ගෞරවයත් මේ ආණ්ඩුවේ අමනෝඥ වැඩ නිසා පරිහිලා යනවා.

අපි රජයට කියනවා 40 ලක්ෂයක දරුවන්ගේ අනාගතය ගැන හිතලා ඉක්මනින් තීන්දුවක් ගන්න කියළා.මෙහිදි තුෂාර දන්කැටිය සහ අසංක ජයරත්න යන අයද මෙහිදී අදහස් දැක්වුහ.

ගුරු විදුහල්පති අරගලය තවදුරටත්: O/L ප්‍රයෝගික පරීක්ෂණවලින් ගුරුවරු ඉවත් වෙයි!

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමට තවදුරටත් රජය අපොහොසත් වීම නිසා දිනෙන් දින ඔවුන් සිය අරගලය තව දුරටත් ක්‍රියාත්මක කරන බව පවසයි.

සිය ඉල්ලීම්වලට තවදුරටත් විසඳුම් නොලැබීම නිසා ලබන 27 ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ගේ සහ සෙසු ප්‍රායෝගික පරීක්ෂණවලින් ගුරුවරු ඉවත් වන බව ​අද (23) කොළඹදී ගුරු විදුහල්පති වෘත්තීය වෘත්තීය සමිති එකමුතුව විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේය.

ඇමතිවරු, මන්ත්‍රීවරු මෙම ගුරු අරගලයට එරෙහිව විවිධ අසත්‍ය, අවලාද නැගුවද ඒවා විහිළුවලට පමණක්ම සීමා වී තිබෙන බවත් එහෙයින් සිය ඉල්ලීම් කඩිනමින් ඉටුකරන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්  පැවසීය.

මෙම වැටුප් විෂමතා විසඳීමට පැහැදිලි විසඳුම් දී තිබෙන නිසා  ඒ සඳහා ප්‍රවේශය ගත යුතු බවද ඔහු කියා සිටියේය.

තවදුරටත් මෙම ගැටලුව විසඳීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග ගැනීමට සිසුවන බව ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

හිටපු ඇමති රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු 03 දෙනෙක් අත්අඩංගුවට

මෙහෙකාර සේවයේ සිටි 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ  පැවසුවේ, මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සුම් තුවාල සහිතව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ, බිරිඳගේ පියා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 මේ අතර, මන්ත්‍රීවරයාගේ නිවසේ දී දැරියක් පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී තවත් සිද්ධියක්   අනාවරණය වී ඇත.

අදාළ විමර්ශනවලදී මන්ත්‍රීවරයාගේ නිවසේ 2015 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ මෙහෙකාර සේවය නිරතව සිටි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ආදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ  පැවසීය.

ඊට අමතරව දැරිය කොළඹට රැගෙන ආ ඩයගම ප්‍රදේශයේ පදිංචි තැරැව්කරු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබා ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

මෙම සිද්ධියට අදාළව විමර්ශන පැවැත්වූ බොරැල්ල පොලීසිය, කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය ඊට අදාළව ප්‍රකාශ 20 කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති බවත් විමර්ශන සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරුණු, පරිවේෂණීය සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි , තාක්ෂණික සාක්ෂි සහ බැංකු වාර්තා ආදිය ද උපයෝගි කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා සඳහන් කළේ ය.

ඒ අනුව මේ සම්බන්ධ පූර්ණ විමර්ශනයේදී දැරිය කෘෘරත්වයට භාජනය කර ඇති බවත්, දැරිය කොළඹට රැගෙනවිත් කෘෘරත්වයට භාජනය කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළඳාම නමැති වරද සිදු කර ඇති බවට ත් අනාවරණය වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන සඳහා සහය වීමට සහය වීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ.

දෙහිවල සත්වෝද්‍යානය සහ රිදීගම සෆාරි උද්‍යානය විවෘත කෙරේ

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මැයි මාසයේ දී මහජනතාව වෙනුවෙන් වසා දැමූ දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත මහජනතාව සඳහා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉෂිනි වික්‍රමසිංහ නිවේදනය කරයි.

මේ අනුව එළඹෙන 26 වනදා සිට දෙහිවල සත්වෝද්‍යානය පෙ.ව 9.00 සිට 5.00 දක්වා ද රිදියගම සෆාරි උද්‍යානය පෙ.ව 8.30 සිට ප.ව 4.00 දක්වා විවෘත කිරීමට තීරණය කර ඇත.

පින්නවල සත්වෝද්‍යානය හා පින්නවල අලි අනාථාගාරය පසුගිය 17 වනදා සිට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා විවෘතව ඇත.

222779851 4151742944939207 504172292561183930 n

සබැදි පුවත්

දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් 04දෙනෙකුට කොරෝනා

ගුරු-විදුහල්පති අදත් මහපාරේ : Online වර්ජනය තවදුරටත්

කොතලාවල විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීම, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වසර 24ක් නොවිසඳුනු වැටුප් විෂමතාවන් ඉවත් කිරීම, ඔන්ලයින් සදහා සියලු දරුවන්ට පහසුකම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹා සිටින ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නායකයින් සහ සමාජිකයින් දහස් ගණනක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවෙමින් සිටිති.

අධ්‍යාපන ඇමතිවරයා සහ ලේකම්වරයා සමග දිගින් දිගටම සාකච්ඡා සඳහා අවස්ථාවල සිටි බවත් එම සාකච්ඡා ලබා නොදීම මත විරෝධතා ආරම්භ කිරීමෙන් පසු ලබා දුන් සාකච්චාවේදීද ස්ථීර විසඳුමක් ලබා නොදුන් බවත් ඒ අනුව මින් ඉදිරියට එවැනි සාකච්ඡා ඵලක් නැති බැවින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ලංකා ගුරු  සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කරයි.

විරෝධතාවය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ විරෝධතාවයේ නිරත ගුරුවරු සමග සාකච්ඡාවක නිරත වූ අතර ගුරු – විදුහල්පති සංගම් නායකයින් එහිදී එම නිලධාරීන්ට සඳහන් කර ඇත්තේ තමන්ට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදිය යුතු බවයි.

ගුරු සංගම් රැසක් එක්ව සංවිධානය කර ඇති  විරෝධතා පා ගමන මේ වන විටත් පැවැත්වෙන අතර, මෙම උද්ඝෝෂණයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටිති.

කොළඹ දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පැවැත්වෙන අතර මේ හේතුවෙන් මාර්ග අවහිරවීමෙන් කොටුව හා ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ද පවතී.

image 77060a2b35

 (ඡායාරූප - ලංකාදීප)

පෙසප අනෙක් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා අරඹයි !

වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මත ඇතිකර තිබෙන පීඩාව තවත් බලලෝභී දේශපාලන ක්‍රීඩාවකට ඉඩ නොදී සැබෑ ජනතා ජයග්‍රහණ වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා මාලාවක් ආරම්භ කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.

ඊයේ (21) නුගේගොඩ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ වනවිට ආණ්ඩුවේ අසාර්ථකභාවය සලකුණු කර ඇත්තේ පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ නවලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරණ හේතුවෙන් නිසා බවත් ජනතාව වෙනුවෙන් විකල්ප සොයන දේශපාලන ජයග්‍රහණ කරා යාම සඳහා මාර්ග සෙවිය යුතු බවත්ය. දැනටමත් මතුව තිබෙන ආණ්ඩු විරෝධයේ රැල්ලක් මගින් බලයට පත්වීමට ඇතැම් අවස්ථාවාදී නායකයන් කටයුතු කරන නමුත් ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවීම ප්‍රමුඛ අවශ්‍යතාව බව ඔහු අවධාරනය කළේය. ඒ නිසා හුදු බලමාරුවකට එහා ගිය ජනතා බලයක් ගොඩනැඟීමේ අරමුණින් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ තෝරාගත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කිරීමට සූදානම්වන බව මෙහිදී පෙ.ස.ප. ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

ඔහු කියා සිටියේ බලයට පත්වන ආණ්ඩුවලට මගහැර යා නොහැකි, එවැනි බලයක් ගොඩනැඟිමේදී ජනතා ප්‍රශ්න වෙනුවෙන් මැදි‍හත්වන සියලු දේශපාලන බලවේග සමඟ අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂා කරන බවය. ජනතාව මුහුණ දෙන ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දීමට ආණ්ඩුවට අවධානයක් නැති තත්වය තුළ සිදුවන්නේ ජනතාවගේ විරෝධතා රැල්ල විපක්ෂයේ බලලෝභී අරමුණුවලට පමණක් භාවිතා වීමය. මේ නිසා සැබැවින්ම ජනතා ගැටලු සම්බන්ධ විසඳුම් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාර විසින් ගෙන එන යෝජනා අවධානයට ගතයුතුව තිබෙන බව කුමාර් ගුණරත්නම් පැවසීය. මේ අරමුණ ඇතිව ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රිලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට තම පක්ෂය අදහස් කරන බව ඔහු ප්‍රකාශ කළේය.

පෙ.ස.ප. ප්‍රධාන ලේකම්වරයා විසින් අවධාරනය කළ කාරණය වූයේ, මෙරට දේශපාලන ඉතිහාසයේ හැමවිටම සිදුවන ආකාරයෙන් ආණ්ඩු විරෝධයක් හරහා හුදු බලමාරුවකින් කෙළවර නොකරන ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව පෙ.ස.ප අදහස් ඉදිරිපත් කිරීමටත් ඒ් සම්බන්ධ සෙසු පක්ෂවලට ඇති අදහස් හා යෝජනා සම්බන්ධ සාකච්ඡාවක් ගැනීමටත් කටයුතු කරන බවයි. මෙම විශේෂ මාධ්‍ය හමුවට පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහභාගි වූහ.

චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් රැගත් ගුවන් යානා දෙකක් අද (22) අලුයම මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව මේ දක්වා මෙම සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 91ක් ලංකාවට චීනයේ සිට රැගෙන විත් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

මීට අමතරව කිලෝ ග්‍රෑම් 386 ක් බරැති ඔක්සිජන් ඇසුරුම් 18 ක් ද තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

අද මෙරටට ලැබුණු එන්නත් තොගය හෙට දිනයේ සිට එන්නත්කරණය සඳහා පහත පරිදි දිස්ත්‍රික්ක වෙත බෙදා හරින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කුරුණෑගල දිස්ත්‍රික්කය – මාත්‍රා 400,000

ගාල්ල දිස්ත්‍රික්කය – මාත්‍රා 275,000

මාතර දිස්ත්‍රික්කය – මාත්‍රා 200,000

බදුල්ල දිස්ත්‍රික්කය – මාත්‍රා 200,000

රත්නපුර දිස්ත්‍රික්කය- මාත්‍රා 200,000

හම්බන්තොට දිස්ත්‍රික්කය- මාත්‍රා 125,000

පුත්තලම දිස්ත්‍රික්කය – මාත්‍රා 100,000

පොළොන්නරුව දිස්ත්‍රික්කය – මාත්‍රා 100,000

නුවරඑළිය දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000

මොනරාගල දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000

අම්පාර දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000

මඩකලපුව දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000

ආණ්ඩුවෙන් කළු සල්ලි සුදු කරවන පනතක් : අධිකරණයට යන බව ජවිපෙ කියයි

ආණ්ඩුව විසින් කළු සල්ලි සුදු කරවන පණතක් ගෙන ඒමේ සූදානමක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අනාවරණය කරයි.

ඒ අනුව පසුගිය වසරේ මාර්තු 31ට පෙර හෙළිදරව් නොකළ බදු ගෙවීම සඳහා සහනයක් ලබාදීමට යැයි සඳහන් කරමින් ගෙනඑනු ලබන බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණය හමුවට යන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටලු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

“ස්වේච්චාවෙන් හෙළිදව් කිරීම මත බද්ද පැනවීම” සහ “ඇතැම් නීති යටතේ හිඟ බදු මුදල් කපා හැරීම සඳහා විධිවිධාන” යන දෙයාකාරයෙන් බදු සහන ලබාදීමට ආණ්ඩුව විසින් මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මේ වනවිට බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවත්වෙන මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්…

“මේ වනවිට පාර්ලිමේන්තුවට නව මුදල් පනතක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිවලින් මේ වනවිට හෙළිදරව් නොකළ වත්කම් සහ ආදායම් පිළිබඳව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා හෙළිදරව් කරන තැනැත්තන්ට දණ්ඩනයක් නියම නොකර සහන ලබාදීමට මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් යෝජනා කරන්නේ බිඳ වැටිලා තියෙන සංචාරක කර්මාන්තය, නැත්නම් වෙනත් කර්මාන්ත නැත්නම් කොවිඩ් වසංගතය නිසා අසරණ වෙලා ඉන්න සාමාන්‍ය ව්‍යවසායකයින් වෙනුවෙන් නෙවෙයි. බැංකු ණය, ලීසිං, ගෙවා ගන්න බැරිව විශාල අර්බුදයකට ලක්වූ පිරිසකගේ ව්‍යාපාර වැසී යමින් තිබෙනවා. ආණ්ඩුවක් විදිහට යම් සහන ලබාදිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට. නමුත් ආණ්ඩුව මේ පනත ගෙනත් තිබෙන්නේ ඒකට නෙවෙයි. රටේ පවතින නීතිය අනුව හෙළිදරව් නොකළ, ජනතාවගේ බදු මුදල් වංචා කළ බදු හොරුන්ට, නීතියෙන් කට්ටි පැනල තියෙන හොර නඩයකට පහසුකම් සලසා දෙන්න මේ හදන්නේ. මේක කළු සල්ලි සුදු කරන පනතක්.

ආණ්ඩුව සිදුකරමින් ඉන්නේ තමන්ගේ යාළු මිත්‍රයින්ට සහන සලසා දෙන්න. කොවිඩ් බොරදියේ මාළු බාන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒ හොර නඩයට සහන දෙන්න. බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා පත්වීමෙන් පස්සේ විශාල සහන දෙන බව ලංසා වැනි ඇමතිවරුන් කීවා. තෙල් මිල අඩුකර සහන ලබාදී ජීවන බර අඩුකරන බව කීවා. හැබැයි බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා ගේන පළවෙනි පනත කළු සල්ලි සුදු කරන්න. දෙසැම්බර් 31කට කලින් මේ සල්ලි පාවිච්චි කරලා කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න පුළුවන්. ඒවගේම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහබැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මිලදී ගන්න පුළුවන්. මේ වංචනික මුදල්වලින් ලංකාව තුළ දේපළ මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙසැම්බර් 31ට කලින් බැංකු ගිණුම්වල තැන්පත් කරන්නත් පුළුවන්. මේ සිද්ධ කරන්න යන්නේ 1%ක බද්දක් ආණ්ඩුවට ගෙවලා හොරකම් කළ, වංචා කළ, මුදල් නීත්‍යානුකූල කිරීමයි. භාණ්ඩාගාරයේ පතුළ හිස්වෙලා තියෙන බව ඇත්ත. ඒකට මුවා වෙලා අද සිද්ධ කරන්න යන්නේ තමන්ගේ ගජ මිත්‍රයන් අයථා මාර්ගවලින් හොයන ලද මුදල්වලට සුජාතභාවයක් ලබා දෙන්න. දැන් පාර්ලිමේන්තුවට කෙටුම්පතක් හැටියට ඉදිරිපත් කරලා ඉදිරි කාලයේදී සම්මත කරගන්න යන්නේ එවැනි බරපතල පනතක්.

හොරකම් කළ සල්ලිවලින් ආණ්ඩුවට ගෙවන්න ඕනෑ 1%යි. මෙකේ තියෙන බරපතල තත්වය දැනට අයකරගෙන තිබෙන වැට් බදු නොගෙවා පැහැර හැර තියෙන අයට ලැබෙන විශාල වරදානයයි. ආණ්ඩුවට ලැබෙන්න ඕනෑ වැට් බද්ද හැටියට 8%ක් සහ දඩ මුදල් හැටියට අවම වශයෙන් 2%ක් අහිමිවෙනවා. ඒ කියන්නේ 10%ක් ආණ්ඩුවට ලැබෙන්න ඕන මුදලින් ලැබෙන්නේ 1%යි. ආදායම් මත, තමන් අත්පත් කරගත්ත දේපළ මත නීතිය හමුවට ගෙනගොස් දඬුවම් ලබන්න ඕනෑ අය ආණ්ඩුවට 1%ක පගාවක් දීලා බේරෙන්න නීතියක් මේ ගෙනත් තියෙන්නේ. මේකට අපූරු නාමයක් හදනවා. “ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද” කියලා. ඇත්තටම මේක ආණ්ඩුවට දෙන පගා බද්දක්. මේකේ තියෙන බරපතළ තත්වය පැහැදිළි වෙන්නේ අර්ථ නිරූපනයන් තුළින්. වත්කම් හැටියට අර්ථ නිරූපනවල දක්වා තිබෙන්නේ “ශ්‍රී ලංකාව තුළින් යම් චංචල, නිශ්චල දේපළක්” කියලා. මේ මුදල් යොදවලා අර්ථකතනය කර තිබෙන දේපළක් මිලදී ගන්න අවසර තියෙනවා. අනික් පැත්තෙන් නිශ්චල දේපළ යන්න අර්ථ නිරූපනය කර තියෙන්නේ “ඉදි කරන ලද හෝ ඉදිකරමින් පවතින ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ඇති යම් ගොඩනැගිල්ලක් වේ” කියලා. චංචල දේපළ ගැන තියෙන්නේ “රත්තරං ඇතුලුව ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පවතින සියලුම ආකාරවල චංචල දේපළ ඇතුළත් වේ නමුත් මුදල් ඇතුළත් නොවේ.” කියලා. මුදල් යනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයන්ගේ භාවිතා වන මුදල් නම්කර තිබෙනවා.

මේ රටේ සුළු ව්‍යාපාරිකයන්ට විදේශවල නිශ්චල හෝ චංචල වත්කම් තියෙනවාද? මේ කාවද නිදහස් කරන්න හදන්නේ? අපේ රටේ වත්කම් එළියට ගෙනියලා පිටරටවල්වල පුරවැසිකම් ගත්, ඒ රටවල ගොඩනැගිලි ඇතුළු වත්කම් තියෙන අයගේ දේවල් ලංකාවට ගෙනල්ලා ආයෝජන හැටියට යොදවන්න සුජාතභාවය ලබා දෙනවා. කළු සල්ලි සුදු කර ගන්න ගෙනත් තියෙන පනත මේ ආකාරයට විවිධ උපක්‍රමවලින් හංගලා තියෙන්නේ. පවතින නීතිය යටතේ හෙළිදරව් කළ යුතු දේවල් පාර්ලිමේන්තු මේ පනත් මගින් වහනවා නම් ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ වටේ යන්න ඕනෑ නැහැ. ඩේසි ආච්චිටම පුළුවන්, මැණික් මල්ල දීලා ආණ්ඩුවට 1%ක් පගාව දීමෙන් නිදහස් වෙන්න. ඇලෝෂියස්ලාටත් මහ බැංකුවෙන් වංචා කළ මුදල් පෙන්වලා 1%ක් පගාව දීලා ගැලවෙන්න පුළුවන්. අර්ජුන් මහේන්ද්‍රන්ටත් එහෙම බේරෙන්න පුළුවන්. ආණ්ඩුවේ සෞභාග්‍යයේ ක්‍රමය මේක. මේ විදිහට ආයෝජන දිරිමත් වෙන්නේ නැහැ. රටේ ජනතාවගේ ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. කළු සල්ලි සුදු කිරීම විතරයි වෙන්නේ. අර්ථ නිරූපනවලදී ශ්‍රී ලංකාවේ යම් චංචල හෝ නිශ්චල දේපළක් අත්පත් කරගන්න කියලා නැවත විදේශවල තිබෙන චංචල හෝ නිශ්චල දේපළක් අයිති බව සඳහන් කරනවා.

මේකේ බරපතළ තත්වය වෙන්නේ රජයට නොගෙවා පැහැර හැර තිබෙන සියලුම් වත්කම් සහ ආදායම් බදු අඩු තරමින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේවත් නිරාවණය කරගන්න බැහැ. මේකෙන් දිරි ගන්වන්නේ හොරකම. මේ හරහා අයථා මාර්ගවලින් මුදල් ඉපයීම දිරි ගන්වන්නේ. මේකෙන් කරන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීම නෙවෙයි. රාජපක්‍ෂ සමාගමේ ආර්ථික උපායමාර්ගය වෙලා තියෙන්නේ අයථා මුදල් ඉපයීම් දිරි ගන්වන එක. එක කැබිනට් මණ්ඩලයේ එකම පවුලේ ඉන්න වැඩිම පිරිසක් හැටියට ලෝකයෙන්ම මුල් තැනට ඇවිත් තිබෙනවා. මේ තත්වය තුළ ගෙනත් තිබෙන මුදල් කෙටුම්පත ඉතාම බරපතළ බව කාටත් පැහැදිලියි. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිම තැනක යොදවයි කියලා අපි හිතන්නේ නැහැ. කොටස් වෙළඳපොළට සහ බැඳුම්කර මිලදී ගැනීම්වලට වගේ තැන්වලට යන්නේ ක්‍ෂණික ලාභ ලබාගන්න. මේ හොර සල්ලිවලට ආණ්ඩුවට ණයවීමේ හැකියාව දක්වා බලයක් හැදෙනවා. බැංකු ණයවත් ගෙවාගන්න බැරිව ඉන්න ව්‍යාපාරිකයින් ගැන ආණ්ඩුව කථා කරන්නේ නැහැ. ආණ්ඩුවට ණය දෙන්න ඒ අයට හැකියාවක් නැහැ. අලුතින් දේපළ අත්පත් කරගන්නත් ඔවුන්ට හැකියාවක් නැහැ. නීතිය ඉදිරියේ දඬුවම් ලබන්න නියමිතව ඉන්න අය මේ පනතෙන් ආරක්‍ෂා කරන්න උත්සාහ කරනවා.

ජනතාවගේ ජන ජීවිත පවත්වාගෙන යන්න කොරෝනා තත්වය නිසා නොහැකි අවස්ථාවක් මේක. ආණ්ඩුව කල්පනා කරන්නේ ජනතාවට හෙණ ගැහුවත් තමන්ගේ සහ ගජ මිතුරන්ගේ වැඩේ කරගන්න එක ගැනයි. පක්‍ෂයක් හැටියට අපි මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනවා. ජනතාවගේ බදු මුදල් වංචා කළ අය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර දැනගන්න අයිතියක් ජනතාවට තියෙනවා. මේ නිසා අපි මේ පනත් කෙටුම්පතට විරුද්ධව අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාවට සාධාරණය ඒ තුළින් ඉෂ්ඨ කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. සෙලෙන්දිවා වැනි ආණ්ඩුවම සකස් කරන වෙනත් නීති-රීතිවලින් නිදහස් කරන මහජනතාවගේ දේපළ කොල්ල කන්න මේ මුදල් යොදවන්නත් අවස්ථාව ජාවාරම්කරුවන්ට ලබා දෙනවා. ඒ නිසා මේ වෑයම පරාජය කරන්න අපි නීත්‍යානුකූලව කටයුතු කරනවා.”

දුමින්දට ලැබුණු ජනාධිපති සමාවට එරෙහිව හිරුණිකා අධිකරණයට !

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධි සම්බන්ධ මරණ දඩුවම් නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

එබැවින් මරණ දඩුවම් නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙමින් ජනාධිපතිවරයා කළ නියෝගය බලරහිත කරන්නැයි ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපතිවරයා , අධිකරණ ඇමති අලි සබ්රි , නීතිපති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තිය සමිති පිලිබද උපදේශක ලෙස කටයුතු කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කළ කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල මඩුල්ලේ තුනෙන් දෙක බහුතරයෙන් වගඋත්තරකාර දුමින්ද සිල්වාට මරණ දඩුවම නියම කළ බවත් , පසුව එම මරණ දඩුවම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒකමතිකව තහවුරු කර තිබියදී ඉකුත් ජුනි 24 වැනිදා ජනාධිපති සමාව යටතේ වගඋත්තරකරු නිදහස් කළ බවය.

එලෙස ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව බවද පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය පෙත්සමේ සදහන් කර ඇත.

එලෙස වගඋත්තරකාර දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ මුදා හැරීම ව්‍යවස්ථා විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසද , එම ජනාධිපති සමාව ලබා දුන් නියෝග බලරහිත කරන ලෙසද , වගඋත්තරකාර දුමින්ද සිල්වාට සමාව ලබා දීමට අදාළ ලේඛන අධිකරණයට කැදවා විභාගයක් පවත්වන ලෙසද පෙත්සම්කාරිය සිය මුලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.

Lankadeepa

කොරෝනා මරණ 4000 ආසන්නයේ : දත්ත අවුල තවමත් !

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 47ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඊට අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3917ක් දක්වා ඉහළ යයි.

මේ අතර සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති සියලුම කොරොනා ප්‍රභේද ශ්‍රී ලංකාවේ දැන් තිබිය හැකි බව බලධාරීන් ප්‍රකාශ කළ ද වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදිව දත්ත සපයා නොමැති බවයි.

ඒ හේතුවෙන් ඉදිරියේ දී කොරෝනා මරණ සංඛ්‍යාව වැඩියෙන් සිදුහැකි බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර කියා සිටියි.

අද පවතින්නේ කොරෝනා රැල්ල ඉහල පහල යෑමක් මිස විද්‍යාත්මක පාලනයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයන් පිළිබඳ නිවැරදි තොරතුරු නොලැබෙන හේතුවෙන් ඉදිරියේ දී ජනතාව කුමන තත්වයකට මුහුණදීමට සිදුවේ දැයි අවිනිශ්චිත යයිද ඔහු පැවසීය.

මෙවන් වසංගතයක් පාලනයේ දී මූලිකත්වය ලබාදිය යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට වුවද ලංකාවේ තීරණ ගනු ලබන්නේ දේශපාලන බල අධිකාරියේ ඕනෑ එපාකම් මත වීම බරපතළ ගැටලුවක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

මානව හිමිකම් කඩවීම් පිළිබඳ අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් කඩවීම් ඇත්දැයි සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අතුරු වාර්තාවක් ඊයේ ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.

මානව හිමිකම් හා අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් හා සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනයට පත්කළ කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් එම කොමිසම පත්කර තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිව්දෙනෙකුගෙන් සමන්විත කොමිසම සිය අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත ඊයේ භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනය හිටපු නගරාධිපතිනි යෝගේෂ්වරී පත්තුණරාජා යන අය පත්කර සිටිති. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බව අදාළ අතුරු වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9,11 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් ඉදිරිපත් කර තිබේ.

පනතේ 9 වන වගන්තිය මගින් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේ දී අවම මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබාගන්නා පුද්ගලයන්ට අධිචෝදනා ගොනුකර නඩු අසා නිම කිරීම.

11 වන වගන්තිය යටතේ වූ රැඳවුම්කරුවන් බන්ධනාගාරය තුළ රඳවා තබා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවසේ හෝ ගම් ප්‍රදේශය තුළ රඳවා තබා ගැනීමට ඇති හැකියාව.

13 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස් දීමට අවම වශයෙන් තිදෙනෙකුගෙන් සමන්විත, සියලු ජාතීන් නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කම ද කොමිසම අතුරු වාර්තාව මගින් යෝජනා කර තිබේ.

ඉන්දියාවෙන් දියවන්නාවට පාවෙන සූර්ය විදුලි බලාගාරයක්

විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගෙනයමින්,  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ   මගපෙන්වීමෙන් පාවෙන සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය (Floating Solar System) ආරම්භ කිරීම කඩිනම් කළයුතු බව, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  අවධාරණය කරයි.

වසර 2030 වනවිට විදුලිබල අංශයට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ අරමුණූ ශාක්සාත් කරගනිමින්, විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම මිල අවම ස්ථාවර විදුලිබල සේවාවක් ලබාදීම උදෙසා මේ වනවිට සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති රාශියක් දියත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

 ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ප්‍රමුඛ රජයේ මගපෙන්වීම යටතේ, විෂයබාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසනායක යන අයගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතීන්ට අමතරව, මෙම පාවෙන සූර්ය විදුලි බලාගාර සංකල්පය ක්‍රියාත්මක තලයට ගෙනඒමට සැලසුම් කර තිබේ.

මෙහි පළමු අධියර වශයෙන් ඉන්දීයානු රජයේ ණය ආධාර යටතේ, දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තවන අතර මේ වනවිට මෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී.

දියවන්නාවේ පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීම ඉතාමත් කඩිනමින් සිදුකර, පාවෙන සූර්ය විදුලිබලාගාර සංකල්පය පිළිබදව පාර්ලිමේන්තුවෙන් සමස්ත රටටම පූර්වාදර්ශයක් ලබාදෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  අවධාරණය කරයි.

විදුලිබල අමාත්‍යාංශය, සූර්ය,සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, මහවැලි අධිකාරිය, සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සාමූහිකත්වය තුළින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම නවමු ව්‍යාපෘති සංකල්පයේ දෙවන අධියර වෙනුවෙන් මහවැලි අධිකාරිය විසින් මේ වනවිට ජලාශයන් කිහිපයක් නම්කර තිබේ.

සෞභාගයයේ දේශයක් කරා රට මෙහෙයවන ගමනේ පෙරගමන්කරු වෙමින්, ජනතා පරමාධිපත්‍යය තුළින් නායකත්වය සපැමිණි නව රජය, ජනතා අභිලාශයන් මුදුන්පත් කිරීමට නිතැතින් කටයුතු කරනු ලබන අතර හරිත දේශයක් බිහිකිරීමේ උදාර කර්තව්‍යය වෙනුවෙන් දායක වෙමින්, පොසිල ඉන්ධන භාවිතය ශුණ්‍ය අගයක් කරා ගෙන ඒමටත්, ඒ තුළින් සමස්ත රටවැසියන් විදුලියේ එළියෙන් දිදුලන, හරිත දේශයක සැබෑ උරුමක්කාරයින් බවට පත්කිරීමට කැපවී කටයුතු කරන බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් අවධාරණය කරයි.

සාකච්ජාව විසඳුමකින් තොරයි : Online වර්ජනය අඛණ්ඩව

සතියක් පුරාවට පැවත එන ගුරු වර්ජනය පිළිබද ගුරු සංගම් නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර බත්තරමුල්ල ඉසුරුපායේදී  අද (20) පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන්වී තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්  සහ ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු සිව්දෙනෙක් මෙම සාකාච්ජාව සඳහා සහභාගී වූහ.

2020 ජනවාරි මස 01 වැනිදා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කර ගැනීම සඳහා විධිමත් කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබියදී ලබන සඳුදාට යළි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර මෙම ප්‍රශ්නය විසඳීමට ප්‍රවේශයක් ගන්නා බවට අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශ ගැන විශ්වාස තැබිය නොහැකි අතර සිය ඉල්ලීම් ඉටු නොවීම නිසා තවදුරටත් ඔන්ලයින් වැඩවර්ජනය සිදුකරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කළේය.

ඒ, අද අධ්‍යාපන අමාත්‍යංශයේදී අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස්  සමඟ පවතී සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අනුමත කරන ලද කැබිනට් පත්‍රිකාව ගැන කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති තත්ත්වයක් තුළ ක්‍රියාත්මක තලයේ හැර ප්‍රකාශ් ගැන විශ්වාසය තැබිය නොහැකි බවයි ස්ටාලින් = පැවසුවේය.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු පස් දෙනෙකුගෙන් යුත් කමිටු වාර්තාවක් මඟින්ද මෙම සේවය සංවෘත සේවාවක් කර වැටුප් විෂමතාව විසඳීමට යෝජනා කර තිබෙන අතර එය ක්‍රියාත්මක කරන ලෙස පසුගිය කාලය පුරාම ඉල්ලා සිටියද එයද ඉටු නොවුණු බවයි ඔහු සඳහන් කළේය.

එම යෝජනාව සකස් කර ඇත්තේ ගුරු විදුහල්පති වෘත්තීය සමිතිවල යෝජනාද ගෙන බැවින් වන නිසා නව යෝජනා යළි දීමේ අවශ්‍යතාවක් නැති බවද ජෝසප් ස්ටාලින් = සඳහන් කරන ලදී.

ඒ අනුව අද අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාව විසඳුමකින් තොරව අවසන් වූ අතර සිය ඉල්ලීම් ඉටුවන තුරු අඛණ්ඩව අරගලයේ නිරතවන බවත් එළඹෙන 22 වැනිදා කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Page 371 of 385