රතු ඔක්තෝබරයේ පාඩම් - රෝහණ විජේවීර

රතු ඔක්තෝබරයේ පාඩම් - රෝහණ විජේවීර

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද (නොවැම්බර් 13) රොහණ විජේවීර ඝාතනයේ 36වන සැමරුම පවත්වනවා.

මේ පාර්ශ්ව දෙක අතුරෙන් ජනතා විමුක්ති පෙරමුණ/ ජාතික ජන බලවේගය අද රාජ්‍ය බලය හොබවනවා. පෙරටුගාමි සමාජවාදි පක්ෂය දේශපාලනමය වශයෙන් පමණක් නොව පෞද්ගලිකව ද ජනතා විමුක්ති පෙරමුණෙහි සතුරන් බවට (ආසන්නත ම සිදුවීම යක්කල කාර්යාලයට පහර දීම) පත්ව සිටිනවා.


jvp
පොරටුගාමි සමාජවාදි පක්ෂය තවමත් බලය ලබාගෙන නොමැති බැවින් ඔවුන් අනාගතයේ දි කුමනාකාරයෙන් හැසිරේවි ද (ධනේශ්වර පංතිය සමග) යන්න පැවසිය නොහැකි වුව ද ජවිපෙ/ ජාජබ ප්‍රමුඛ ආණ්ඩුව වර්තමානයේ සිය බලය හොබවන්නේ කෙසේ ද යන්න විශේෂයෙන් ලියන්න අවශ්‍ය නැහැ. හැබැයි එයාලට රෝහණ විජේවීර පැවසූ, මතු පළ වෙන කතාව නම් යළිත් කියවන්න ම වෙනවා. එහෙම කියෙව්ව කියල වෙනසක් වෙන්නෙ නැති බව ඇත්ත. ඒත් මේක කියවනවා නම් හොඳයි කියල හිතුණ නිසයි මේ විදියට පළ කරන්නේ.

''බොල්ෂ්වික්වාදීන් ඔක්තෝබර් විප්ලවයෙන් අපට ඉගැන්නුවේ සමාජවාදී සමාජයක්; සමාජවාදී දේපළ ක්‍රමයක්. කවදාවත් ධනපති පංතිය එක්ක හවුල් වෙලා ඒක කරන්න බැහැ. සූරාකන දේපල හිමි පංතිය සමග හවුල් වෙලා ඒක කරන්න බැ. පැහැදිලි ලෙසම සූරාකන දේපළ හිමි පංතින්ට විරුද්ධව ඒගොල්ලෝ සමග මතවාදීමය, දේශපාලනමය, ආර්ථිකමය අරගල තුළින් තමයි මේක කරන්න වෙන්නේ. ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල කම්කරු පංතියේ සංවිධාන ධනේශ්වර පංතිය සමග, ධනේශ්වර පංතියේ සංවිධාන සමග එකට බැදිලා තියෙනවා; එකට පෑස්සිලා තියෙනවා, ඒ පිළිබඳව ඔක්තෝබර් විප්ලවය අපට හොඳ පාඩම් උගන්වලා තියෙනවා. සමස්ත නිර්ධන පංති සටන් ඉතිහාසයමත් එහෙම පාඩම් උගන්වලා තියෙනවා. කල්පනා කරලා බලන්න...

 

imagesරෝහණ විජේවීර

මෙන්ශේවික්වාදීන්ට ඛේද ජනක අත්දැකීමකට මුහුණ පාන්න සිදුවුණා , රුසියාවේ ඒ ඛේද ජනක ඉරණම ඒ ගොල්ලන්ට අත්වුණේ මුලික වශයෙන්ම ඒ ගොල්ලන්ගේ සමාජවාදී සමාජයක් සමාජවාදී දේපළ ක්‍රමයක් ධනේශ්වර පංතිය කෙරෙහි දැක්වූ ආකල්ප නිසායි; ධනේශ්වර පංතිය සමග සන්ධාන ඇතිකරගත් නිසයි.

ධනපති පංතිය නිර්ධන පංතිය තුළට තමන් ගේ මතවාදීමය බලපෑම් කරනවා


ලෙනින් පැහැදිලි ලෙස ම කිවා කම්කරු පංති සංවිධාන, නිර්ධන පංතියේ සංවිධාන, විප්ලවාදී සංවිධානය ධනේශ්වර පංතියත් සමග ප්‍රගතිශීලි වේවා, ජාතික වේවා,ලිබරල් වේවා ඕනෑම නමකින් හඳුන්වන ධනේශ්වර පංති සංවිධාන සමග සම්බන්ධ කළොත් සන්ධාන ඇතිකොළොත්, පෙරමුණු ඇති කලොත් එයින් වෙන්නේ එකම දෙයයි, අර නිර්ධන පංතියේ සටන්කමින්ගේ සටන්කාමිත්වය මොට්ට් වී යන එක් විතරයි කියලා. පස්සට අදින එක විතරයි කියලා. ඒක ඉතිහාසයේ හැම තැනම නැවත නැවත සනාථ කරලා තියෙනවා . මේ හැම තැනම ඒ වගේ සංවිධානවලින්, සංවිදාන තුළින් වුණේ ඒකයි. අනෙක් පැත්තෙන් ධනේශ්වර පංතිය ගත්තහම ඒ ගොල්ලෝ හුඟක් කැමතියි නිර්ධන පන්තියේ සංවිධාන ඒ ගොල්ලෝ එක්ක හාවෙන්න, පුට්ටු වෙන්න එනවට. ධනපති පංතියත් එක්ක නිර්ධන පංතිය පුට්ටු වෙච්ච හැමතනම ඔප්පු වෙලා තියෙන්නේ ඔක්තෝබර් විප්ලවයට පෙර රුසියාවේ වගේම ඒ හැම තැනකින්ම ප්‍රයෝජනය ලබාගන තියෙන්නේ ධනේශ්වර පංතිය. ධනපති පංතිය නිර්ධන පංතිය තුළට තමන්ගේ මතවාදීමය බලපෑම් කරනවා. ධනේශ්වර සමාජයේ අදිපත්‍ය දරන පංතිය තමයි සමාජයේ රජයන ආයතන හැටියට තියෙන්නේ. මේ ගොල්ලන්ගේ ද්‍රව්‍යමය පදනම හුඟක් විශාලයි; මේ ගොල්ලන්ගේ හැකියාවන් හුඟක් විශාලයි. කම්කරු පංතියට මේ ගොල්ලන්ගේ මතවාදය සියුම් ලෙස කාන්දු කරනවා.

 

unnamedලෙනින්

ධනපති පංතිය දිනුවෙ ඇයි...?

අද අපේ රට තුළ තියෙන මුලික ප්‍රශ්නය තමයි, කම්කරු පංති ව්‍යාපාරය තුළ ධනේශ්වර මතවාදය සැහෙන දුරකට ජයග්‍රහණය කරලා තිබීම. ධනේශ්වර මතවාදය ජයගග්‍රහණ කරලා තියෙන නිසා තමයි ධනේශ්වර පංතියට මේ අකරයට සිතැඟි පරදී ක්‍රියා කරමින් කම්කරු පංති ව්‍යාපාරය පොඩි පට්ටම් කරලා දාන්න හැකිවෙලා තියෙන්නේ. මේක රුසියාවෙදීත් වුණා. සුළු ධනේශ්වර අවස්ථාවාදීන් ඒ රටේ ක්‍රියා කළේ හරියට මේ රටේ සමසමාජ කොමිනිස්ට් නායකයොත් අනෙක් කොටසුත් ක්‍රියා කළ ආකාරයට. ධනපති පංතියේ මතවාද ගෙන එන වාහනය හැටියට තමයි, ඒ වාහනය හැටියට ඒ මතවාදය ගෙනැල්ලා කම්කරු පංතිය තුළ ඉඳන් දේශනා කරනවා, ධනපති පංතියත් එක්ක හවුල් වෙන්න ඕනේ කියලා. අන්තිමට වෙලා තියෙන්නේ මොකද...? ධනපති පංතිය දිනලා, ඒ ගොල්ලොන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන තියෙනවා. කම්කරු පංතිය හැම දමා පැරදුණා.

 

image 057f1ac5cb

කළ යුත්තේ කුමක් ද...?

ධනේශ්වර රාජ්‍ය බලය වෙනුවට නිර්ධන පංති රජ්‍ය බලයක් ගොඩනගන්න නම්, නිර්ධන පංතිය විසින් අනිවාර්යෙන් ම කළයුතු දෙයක් තමයි ධනේශ්වර පංතියේ ඒජන්තයින් නිර්ධන පංති ශ්‍රේණින් තුළට ඇවිල්ලා නිර්ධන පංතියට වැරදි ධනේශ්වර මතවාදයට බිලි කරලා, ආකුල ව්‍යකුල කරලා අකර්මන්‍ය කරලා දාල තියෙනව නම්, ඒ තත්වයෙන් මුදා ගැනීම, ඒ තත්ත්වයෙන් මුදාගන්න නම් ඒ ඇවිල්ල තියෙන අවස්ථාවාදී ඒජන්තලට විරුද්දව අප්‍රතිහත ධෛර්‍යයෙන් යුතුව, අතරමග සමාදානයෙන් තොරව, අරගලයක් දේශපාලනමය, මතවාදීමය අරගලයක් කිරීම තමයි ඔක්තෝබර් විප්ලවයේ පාඩම් අපට කියලා දෙන එක කරුණක් වෙන්නේ.''




(රෝහණ විජේවිර)
1978 නොවැම්බර් 09 රතු ඔක්තොබරයේ පාඩම්

උපුටා ගත්තේ Uvindu Wijeweera face book ගේ පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න