ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුව විකල්ප වාමාංශික කණ්ඩායම් විසින් සලකන්නේ වමට භ්‍රෂ්ඨ වූ හෝ දක්ෂිණාංශික හැරවුමක් ගත් ව්‍යාපාරයක් ලෙස ය.
සරලව කිවහොත් ජනතා විමුක්ති පෙරමුණේ තවදුරටත් වාමාංශික ගුණ දහමක් නොමැතිය යන්නයි.
පක්ෂයේම යම් පාර්ශවයක් රවටාලීම
ඊට අනුව ජවිපෙ විසින් මේ ප්‍රදර්ශනය කරන්නේ ව්‍යාජයකි. අනෙක් අතට සමකාලීන පශ්චාත් ලිබරල් ධනපති ක්‍රමයේ ම සිය ආණ්ඩුකරණය පවත්වා ගෙන යන ජවිපෙ මූලික ආණ්ඩුව අතින් 'විප්ලවවාදී ලෙනින් සැමරුමක්' බලාපොරොත්තු වන්නේ කවුද? ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන් අති බහුතර ජනතාව නම් ආණ්ඩුවෙන් 'මාක්ස්-ලෙනින්වාදයක්' බලාපොරොත්තු වන්නේ නැත. එසේනම් මෙවැනි සැමරුමකින් ජවිපෙ ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂා කරන පාර්ශවයක් සිටින බව පෙනෙයි. මෙවැනි 'මාක්ස්-ලෙනින්වාදී' නිරූපණ පක්ෂයෙන් පිටතට ව්‍යාජ වේශයක් ලෙස පෙන්නුම් කෙරෙනු ඇති මුත් එහි අභ්‍යන්තරයෙන් නැගෙන එක්තරා හඬකට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් මෙම වතාවත් වාර්ෂිකව සිදුකළ යුතුව ඇත. පක්ෂයේම යම් පාර්ශවයක් රවටාලීමකට වඩා පක්ෂය ක්‍රියාත්මක වන ආකෘතික ව්‍යුහයක් මින් අනාවරණය වේ.

බොල්ෂෙවික් ආකෘතිය පමණක් චාරිත්‍රානුකූලව නඩත්තු කිරීම
එනම් පක්ෂයේ උපාය මාර්ගය වැටී ඇත්තේ 'ධනේෂ්වර ප්‍රතිසංස්කරණ මෙහෙවරක' වන අතර පක්ෂයේ අභ්‍යන්තර අරමුණ ලෙස 'ලෙනින්වාදී බොල්ෂෙවික්' සාරයක් ස්වයං ප්‍රත්‍යක්ෂ කරගනියි. සැබවින්ම මෙකී සාරය හිස් තැනකි. දේශපාලනයේ අදිසි හස්තය වන්නේ මෙම හිස් කරනු ලැබූ සාරය යි.
මේ පසු ලිබරල් ධනේෂ්වර යුගයේ බොල්ෂෙවික් පක්ෂයක් ආණ්ඩු බලය ලැබීම යනු එහි ප්‍රායෝගික දෘෂ්ටිවාදය වෙනුවෙන් බොල්ෂෙවික් අන්තර්ගතය උපරිම ලෙස දියකර හැරීමයි. එ'නයින් ම බොල්ෂෙවික් ආකෘතිය පමණක් චාරිත්‍රානුකූලව නඩත්තු කිරීමයි. ජවිපෙ ඇතුළත සිතැඟිය වාමාංශික එකක් යැයි අප තවමත් කියන්නේ මෙම තේරුමෙනි. සිය ලෙනින්වාදී හැව මුළු මනින්ම නිදහස් කර තවත් එක් ජනප්‍රිය-ජනතාවාදී ආණ්ඩුවක් ලෙස පමණක් නිරූපණය වීමට එහි අභ්‍යන්තරය විසින් බාධා කරනු ලැබ තිබේ යැයි මින් කිව හැකිය.
පොදු ජන අවකාශය තුළ 'මාක්ස්-ලෙනින්වාදී' සැමරුමක්...?

'තොපට ඔල්මාදයෙන් ද ? ජවිපෙ වාමාංශයට සමු දී සෑහෙන කලක් යැයි' මෙහිදී නැවත කෙනෙකු කියා සිටිනු ඇත. එය පිළිගත් පසුව වුව ද යළිත් ඉතිරි වන ශේෂ පිළිතුරක් ඇත. එනම් දශක ගණනාවකට පසු ධනේෂ්වර ක්‍රමයට අනුගත වූ ආණ්ඩුවක් 'මාක්ස්-ලෙනින්වාදී' සැමරුමක් සිදුකරමින් සිටියි. තවත් අයුරකින් කිවහොත් එය එසේ කිරීමට සිදු වී ඇති ආණ්ඩුවක් බලයට පත්වී ඇත. එය එතෙක් මෙතෙක් ලාංකීය දේශපාලනය තුළ අපූර්ව අත්දැකීමකි. 'මාක්ස්-ලෙනින්වාදී වාමාංශික ආණ්ඩුවක්' එම ස්වරූපයෙන්ම රාජ්‍ය බලය අත්කර ගන්නා දිනක් මගේ ජීවිත කාලය තුළ නම් කිසිසේත්ම උදාවන්නේ නැත. එතෙක් ආණ්ඩු බලය ගත් පක්ෂයක් 'මාක්ස්-ලෙනින්වාදී' සැමරුමක් පොදු ජන අවකාශය තුළ මෙසේ සිදුකිරීම අප වැන්නන්ගේ උනන්දුව දල්වන්නකි. කෙනෙකුට මෙය ව්‍යාජ රැවටීමක් විය හැකි වුව ද ජවිපෙ මූලික වත්මන් ආණ්ඩුව පිළිබද යම් විශ්වසනීය සත්‍යයක් ද මින් ක්ෂණිකව දීප්තිමත් කෙරෙයි.
විදර්ශන කන්නන්ගර ගේ පෝස්ටුවකි; අවධාරණය අපෙන්.

