සිංහල සිනමාවට අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් දායාද කළ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සේන සමරසිංහ අභාවප්‍රාප්ත වී ඇත.
හෙතෙම මිය යන විට 89 වැනි වියේ පසුවිය.
ආකර්ෂණීය, ජනප්‍රිය පාසල් සිසුවා
නන්දසේන සමරසිංහ නම් වූ ඔහු උපත ලැබුවේ 1937 නොවැම්බර් 25වන දා කෑගල්ලේ ප්‍රදේශයේ රන්දෙණිය ග්‍රාමයේ දී ය.
බණ්ඩාරවෙල ගුරුතලාව සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ හෙතෙම පාසල් සමයේ දී ක්‍රීඩා අංශයෙන් සුවිශේෂී දස්කම් දැක්වු හෙතෙම ඒම අශයේ නායකත්වය ද දැරී ය. එබැවින් ම මේ සිසුවා පාසලේ කීර්තිමත් ආකර්ෂණීය ශිෂ්‍යයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.
සේන සමරසිංහ ගේ පියා මාතර ප්‍රදේශයේ ය; පසුව ඔහු රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් සමග විවාහ වී එහි පදිංචි වූයේ ය. පියා තෙල් මෝලක් පවත්වාගෙන ව්‍යාපාරිකයෙකි. පවුලේ වැඩිමලා වූයේ ද සේන සමරසිංහ ය. ඔහුට බාල සොහොයුරියන් දෙදෙනකු සහ සොහොයුරන් දෙදෙනෙකු සිටියහ. පියා ව්‍යාපාර කටයුතුවල නියුතු වූවකු හේතුවෙන් ම ඔවුනට කිසිදු අඩුපාඩුවක් අග හිඟයක් නොවී ය.
සිනමාගමනයේ ඇරඹුම
සේන සමරසිංහ ගේ සිනමා ගමන් මගේ ආරම්භය ලෙස 1973 දී මිල්ටන් ජයවර්ධන සමග නිෂ්පාදනය කළ 'සදහටම ඔබ මගේ' චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ය.
''සදහටම ඔබ මගේ'' චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව හෙතෙම 1974 දී කස්තුරි සුවඳ චිත්‍රපටය තුළින් සිනමා අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමා ක්ෂේත්රයට පිවිසුණි. එය ද ජනප්‍රිය සිනමා ධාරවේ වාර්තා පිහිටුවීමට සමත් වූ චිත්‍රපටයකි.
සේන සමරසිංහ මෙරට සිනමාවට පැමිණෙන්නේ සාමාන්‍ය නිෂ්පාදකවරයකු හෝ අධ්යක්ෂවරයකු ලෙසින් නොවේ. හෙතෙම සිනමා ක්සේත්‍රයට පිවිසෙන සමයේ දව්යාපාර කිහිපයක් හිමි රඹුක්කන ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
''සදහටම ඔබ මගේ'', ''කස්තුරි සුවඳ'', ''නිල්ල සොයා'', ''ආශා දෑසින්'', ''මල් කැකුළු'', ''චංචල රේඛා'', ''ඈතින් ඈතට'', ''යළි හමුවෙන්නයි'' යනාදි සිනමා නිර්මාණ සිංහල සිනමාවට දායාද කළ හෙතෙම පකිස්තානය සමග හවුල් සිනමා නිර්මාණ කිහිපයක් ද දායාද කළේ ය.
රණ තිසර සම්මානයෙන් පිදුම් ලබා...
සේන සමරසිංහ නමැති සිනමාකරුවා මෙරට සිනමා ක්ෂේත්රයට කල මහඟු සේවය අගයනු වස් ජීවිතයට එක් වරක් පමණක් පිරිනමනු ලබන රණ තිසර සම්මානයෙන් ද පිදුම් ලැබීය.
සේන සමරසිංහ ගේ සිනමා නිර්මාණ මෙරට සිනමා ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලඳ ගන්නට විශේෂ හේතුවක් ලෙස එම නිර්මාණවල අඩංගු වූ ආකර්ෂණීය ගීත ද බෙහෙවින් ම බලපෑවේ ය.
‘බෝධියේ විහාරයේ පිදූ පියුම්', 'හද විමන් දොරින්', 'කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා', 'නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ', යනාදි ගීත එදා පමණක් නොව මේ වන විටද ජනප්‍රියත්වයේ ඉහළ ම තලයක පවතී.


