මාර්ටින් වික්‍රමසිංහ ගේ අරවින්ද සහ අයිවන් ගොන්චරෝව් ගේ ඔබ්ලමොවු

මාර්ටින් වික්‍රමසිංහ ගේ අරවින්ද සහ අයිවන් ගොන්චරෝව් ගේ ඔබ්ලමොවු

පසුගිය 26වන දා කොළඹ පැවති මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳ සම්මන්ත්‍රණයේ දී මහාචාර්ය ජයදේව උයන්ගොඩ කළ සාරගර්භ දේශනයේ දී යෝජනා කළේ මාර්ටින් වික්‍රමසිංහ ගේ කෘති තවත් එවැනි ම අය ගේ කෘති සමග එකිනෙකට ප්‍රතිවිරුද්ධව පිහිටුවා කියවන (උදාහරණ වික්‍රමසිංහගේ කලා විචාරය සහ ආනන්ද කුමරස්වාමිගේ කලා විචාරය) ලෙසයි.

වික්‍රමසිංහ ගේ නවකථා සහ සම්භාව්‍ය රුසියානු නවකථා

මේ අභිමුඛ සැසඳීම කළහැකි තව ක්‍රමයක් වන්නේ වික්‍රමසිංහ ගේ නවකථා සම්භාව්‍ය රුසියානු නවකථා සමග සැසඳීමය. ඒ සඳහා අපි ඔහුගේ විරාගය කෘතියත් 19 වන සියවසේ රුසියාවේ සිටි යථාර්ථවාදී නවකථාකරුවකු වූ අයිවන් ගොන්චරොව් ලියූ ඔබ්ලමොවු නවකථාවත් සසඳා බලමු.

oblmovor

විරාගය නවකතාව ගැන සිංහල පාඨකයා හොඳින් දනී. ඔබ්ලමොවු නවකථාව කෙටියෙන් විමසා බැලීම වැදගත් ය.

කම්මැළි වංශාධිපතියා

1859 දී ප්‍රකාශයට පත් වූ මෙම නවකතාව ගෙතෙන්නේ ඉල්යා ඉලීච් ඔබ්ලමොව්ස්කි නම් තරුණ රුසියානු වංශාධිපතියා ගේ ජීවන පුවත වටා ය. තේමාව වන්නේ ඔබ්ලමොවුවාදය (Oblamovism) යි.

ඔබ්ලමොව්ස්කි අධික කම්මැළියෙකි. නවකථා පොතේ පිටු සියයකටත් වඩා ගත වන්නේ මේ කම්මැළි වංශාධිපති තරුණයා නිදි ඇඳෙන් බැසීමට උත්සාහ ගන්නා ආකාරය විස්තර කිරීමට ය. තීරණ ගැනීමට ඇති නොහැකියාව ඔහුගේ ඊළඟ ලක්ෂණයයි. ඔහු ජීවිතයේ කිසිදු වගකීමක් ගැනීමට බියවන අතර නිතරම සිහින ලෝකයක ජීවත් වෙයි. මොහුට ප්‍රතිපක්ෂව මොහු ගේ මිතුරා වන ස්ටෝල්ස් ක්‍රියාශීලී නවීන සහ ප්‍රායෝගික මිනිසෙකි. ඔහු අවසානයේ දී ඔබ්ලමොව්ස්කි ගේ පෙම්වතිය වන ඔල්ගා විවාහ කරගනියි.

Oblamovism1

මෙම නවකකාව එකල රුසියාවේ පැවති වැඩවසම් ක්‍රමය සහ වංශවත් පන්තියේ පරිහාණිය දැඩි ලෙස විවේචනය කරයි. වැඩකාරයන් මත යැපෙන, තමන්ට තමන් ගේ සපත්තුවවත් දමාගැනීමට නොදන්නා වංශවතුන් ගේ අසරණකම මෙයින් පෙන්වයි. නමුත් ඔබ්ලමොව්ස්කි හුදෙක් කම්මැළියකු නොවේ. ඔහු කරුණාවන්ත හදවතක් ඇති, ලෝකයේ පවතින වංචාව සහ රළුබව දැක එයින් බේරීමට හුදෙකලාවීම තෝරා ගන්නෙකි.

ඔබ්ලමොව්ස්කි ගේ සහ අරවින්ද අතර වෙනස

මේ චරිතය විරාගය නවකාවේ අරවින්දගේ චරිතය සමග සෑහෙන සමානකමක් ඇති බව දැනටමත් අපට පෙනේ. නමුත් වෙනස්කම් ද ඇත.

ඔබ්ලමොව්ස්කි ගේ අකර්මණ්‍යභාවය වංශාධිපතිකමෙන් සහ අධික කම්මැළිකම නිසා හටගත් ව්‍යාධියකි. අරවින්ද ගේ අකර්මණ්‍යභාවය මනෝවිද්‍යාත්මක සහ දාර්ශනික එකකි. ඔහු ලෝකයෙන් පලා යන්නේ කම්මැලිකමට වඩා නිසරු බව හෝ කලකිරීම නිසා ය.

viragaya

පොත් දෙකේම ප්‍රධාන චරිත තමන්ට ආදරය කරන ශක්තිමත් කාන්තා චරිත හමුවේ අසාර්ථක වෙයි. ඔබ්ලමොව්ස්කි වොල්ගා අතහරින්නේත්, අරවින්ද සාරෝජිනී අතහරින්නේත් එකම ආකාරයට ය. ඔබ්ලමොව්ස්කි අවසානයේ දී තමාගේ ම කම්මැළිකම තුළ ගිලී වැන්දඹු කාන්තාවක ගේ සෙවණේ කිසිදු අරමුණක් නැතිව මිය යයි. අරවින්ද රෝගී වී හුදෙකලාවී මිය යයි. ඔබ්ලමොව්ස්කි සමාජ පන්තියක පරිහාණිය පෙන්වන රූපකයකි. අරවින්ද පුද්ගල මනසක පවතින ගැටුම සහ හුදෙකලාව පෙන්වන රූපකයකි. අරවින්ද "සිතමින්" ජීවිතය මගහැර ගනියි.

ඔබ්ලමොව්ස්කි ගේ චරිතය ඉතා පැහැදිලිව රුසියාවේ සමකාලීන සමාජ යථාර්ථය නියෝජනය කළ එකකි. දැන් අප බැලිය යුත්තේ අරවින්ද ගේ චරිතය කෙතෙක් දුරට ලංකාවේ සමකාලීන සමාජ යථාර්ථය නියෝජනය කළ චරිතයක්ද යන්න ය.

අරවින්ද විරාගික චරිතයක් ද...?

සමකාලීන සිංහල බෞද්ධ තරුණයා අරවින්ද තරම් අක්‍රීය නැත. ඔවුහු විවාහ වෙති; දේපළ රැස්කරති; සමාජයේ ගැටෙති. අරවින්ද යනු සමාජයේ බහුතරය නොව සුළුතරයක් බව ඉතා පැහැදිලි ය. එසේනම් වික්‍රමසිංහ බඳු යථාර්ථවාදියකු මෙවැනි චරිතයක් වටා නවකතාවක් ගොඩනැගුවේ ඇයි?

මෙය සිංහල බෞද්ධ සමාජය පිළිබඳ යථාර්ථයක් හෝ බෞද්ධ දර්ශනය පිළිබඳ යථාර්ථයක් නියෝජනය කරයි ද? බෞද්ධ අදහස තුළ විරාගී වීම යනු අත්හැරීම ය. සිද්ධාර්ථ බෝසතාණන්  චරිතයෙන් පෙන්වන්නේ එයයි. සිදුහත් බෝසතාණන් අක්‍රිය චරිතයක් නොවේ. නිර්වාණය සාධනය පිණිස ආර්යඅෂ්ටාංගික මාර්ගය සොයාගත් උතුමෙකි.

අරවින්ද කරන්නේ අත්හැරීම නොව මග හැරීම ය. මේ මගහැරීම විරාගයක් වශයෙන් ලේබල් ගැසි ය හැකි ද? අරවින්ද මහා විරාගික චරිතයක් ලෙස පෙන්වුව ද නවකථාව තුළින් මතුවන්නේ එබඳු චරිතයක් නොවේ.

මාර්ටින් වික්‍රමසිංහ 'නැවත කියවීමට' සුදුසු ම නවකථාව

mrtin

එසේ නම්, මාර්ටින් වික්‍රමසිංහ මේ නවකථාව ඔස්සේ කියන්නේ කුමක්ද ?

බුදුසමයේ විරාගිකත්වය පිළිබද අදහස වැරදියට වටහා ගැනීමෙන් පුද්ගලයකු කෙතරම් අසරණවනවාද යන්න පෙන්වීම ද ? නැතිනම් සෑම සිංහල බෞද්ධ තරුණයකු තුළ ම ප්‍රශ්න හමුවේ පසුබැස යන, තීරණ ගැනීමට පසුබට වන, කර්මය හෝ විරාගය මත යැපීමට කැමති කුඩා අරවින්ද කෙනෙකු සැඟවී සිටින බව පෙන්වා දීමද? විරාගයේ අරවින්ද යනු ඒ කුඩා අංශුව විශාල කර පෙන්වීමද ?

මාර්ටින් වික්‍රමසිංහ 'නැවත කියවීමට' සුදුසුම නවකථාව වන්නේ විරාගය බව මගේ අදහස ය.

(අති දීර්ඝ නවකතාවක් වන ඔබ්ලමොව්ස්කි කෘතියේ සිංහල පරිවර්තනය ආනන්ද අමරසිරි විසින් කර ඇත. එය කියවීමට මට ලබා දුන් මා මිත්‍ර Krishantha Ranathunga ට මාගේ ස්තුතිය පිරිනමමි!)

karu

 

කරු පරණවිතාන

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න