Image

ප්‍රවීණ රංගවේදී ගාමිණී සමරකෝන් දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ රංගවේදී ගාමිණී සමරකෝන් දිවි සැරිය නිම කරයි

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් ඉටුකළ ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී සමරකෝන් අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු දැඩි ප්‍රේක්ෂක ගෞරවාදරයට පාත්‍ර වූ කලාකරුවෙකි. ඒ, වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය යන ත්‍රිවිධ මාධ්‍යය තුළ ම දශක ගණනාවක් පුරා තැබූ නොමැකෙන රංගන සලකුණ හේතුවෙනි.

මෙරට නාට්‍ය කලාවේ සන්ධිස්ථානයක් බඳු වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ ‘මනමේ’ නාට්‍යයේ මනමේ කුමාරයාගේ භූමිකාව විශිෂ්ට අයුරින් නිරූපණය කිරීම හේතුවෙන් ගාමිණී සමරකෝන් වඩාත් සුවිශේෂී පුද්ගලයෙක් බවට ප්‍රචලිත විය.

හෙතෙම කලා ලොවේ සදාතනික මතකයක් ඉතිරි කිරීමට සමත් වීමට තවත් හේතුවක් ලෙස ලුෂන් බුලත්සිංහල ගේ ‘තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යයට ඇතුළත්, අදටත් මෙරට රසිකයන් අතර අතිශය ජනප්‍රිය ‘සෝබාව දේ මෙපුර – සිරි විසිතුරු’ යන ගීතය ගායනා කරමින් රංගනයෙන් දායක වීම හැදින්විය හැකි ය.

එ'මතු නොව: මධුර ජවනිකා, කදාවළලු, සක්කාය දිට්ඨි, අඹු සැමියෝ, දේශපාලුවා, නරි බෑනා, සහ පොකුරු වැස්ස ඇතුළු සම්භාව්‍ය වේදිකා නාට්‍ය රැසකට ම ඔහු සිය සුවිශේෂී රංගන දායකත්වය සපයා ඇත.

වේදිකාවෙන් ඔබ්බට යමින් මෙරට සිනමාව සහ ටෙලි තිරය ද එක ලෙස හැඩකරන්නට ගාමිණී සමරකෝන් සමත් විය. ඒ: ඉර සේවය, ගේ කුරුල්ලෝ, අළු යට ගිනි, භේරුණ්ඩ පක්ෂියා, සුදු අප්පච්චි සහ මලට නොඑන බඹරු යනාදි නිර්මාණවල ප්‍රබල චරිත නිරූපණය කකරමිනි. තව ද: බැද්දෙ සෙනෙහස, එක මවකගෙ දරුවෝ, ගම්පෙරළිය, කුමාරයාණෙනි, රන්මසු උයන, නිදිකුම්බා මල් සහ කැලෑහඳ යනාදි අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක් තුළ ඔහු කළ රංගනයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නට සමත් විය.

රංගනයට අමතරව හසල දක්ෂතාවලින් හෙබි උඩරට නර්තන ශිල්පියෙකු ද වූ ගාමිණී සමරකෝන්, සිය වෘත්තීය ජීවිතයේ මුල් අවධියේ දී හැටන් පොලිස් ස්ථානයේ ද පසුව කොළඹ වෙස්ලි විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස ද සේවය කරමින් සමාජයට විශාල මෙහෙවරක් ඉටුකළ ප්‍රාඥයෙකි.

මූලාශ්‍ර - dinamina.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න