චිත්‍රපට ශාලා ඉදිකිරීම පිළිබඳව ඉතා වැදගත් තොරතුරක් ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිවරයා මුල්කොට - සංස්ථා නිලධාරීන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම කරන ලදී.
රට පුරා නව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමේ වැඩපිළිවෙළක්!
පෝලිම්ගත චිත්‍රපට සඳහා පැහැදිලි තිර කාලයක්

සිනමා කර්මාන්තය තුළ ඇතිවී තිබෙන අර්බුද හමුවේ ඊට අදාළ එක් ප්‍රධාන විසඳුමක් ලෙස මෙම සිනමා ශාලා ඉදිකිරීමට ගත් පියවර අගය කළ යුතුයි. දැනට පෙන්වාගැනීමට නොහැකිව පෝලිම් ගැසී ඇති චිත්‍රපට සඳහා ප්‍රධාන හේතුවත් සිනමා ශාලාවල අඩුව සහ තිර කාලය සීමා වීමයි, රට තුළ ඇති කුඩා සිනමා ශාලා ප්‍රමාණයෙහි: සිංහල, දෙමළ, හින්දි, ඉංග්‍රීසි සහ වෙනත් චිත්‍රපට විශාල ප්‍රමාණයක් පෙන්වයි. චිත්‍රපට සංස්ථාව සතුව තමාගේ ම සිනමා ශාලා කිහිපයක් හෝ තිබුනේ නම් දැනට පෝලිම්ගත එකී චිත්‍රපට සඳහා පැහැදිලි තිර කාලයක් ඒ සඳහා වෙන්කර දීමේ හැකියාව තිබුණි.
සිනමාවට අදාල ගැටලු වෙනුවෙන් වසර 16ක් තිස්සේ අප විසින් කරනු ලබන ඉල්ලීම් සහ අනෙකුත් මැදිහත්වීම් අතරේ මේ සඳහා වූ ඉල්ලීම ඉහළින්ම තිබුණි.
ඉහත කරුණ පිළිබඳව වරක් ජා. චි. සං. සභාපතිවරයා හමුවී කළ ඉල්ලීමේ දී ඔහු ඒ පිළිබඳව ඉතා ධනාත්මකව කතා කළ අතර, ඊට මැදිහත්වන ලෙසට ද ඉල්ලීම් කළේ ය. එහෙත් ඇතිවී තිබෙන ගැටලු පිළිබඳව අපගේ අදහස් සහ යෝජනා පමණක් ඉදිරිපත් කළහැකි අතර ඊට මැදිහත්විය යුත්තේ සංස්ථාව හෝ වෙනත් ආයතනයක් බව අපගේ හැඟීමයි. එය විශාල ප්‍රාග්ධනයක් සමග කරන ගනුදෙනුවක් බැවින් එය ව්‍යාපාරිකයින් හෝ රජය මගින් කළ යුතු වෙයි.
කෙසේ හෝ මෙවර කුඩා සිනමා ශාලා 10ක් විවිධ ප්‍රදේශයන්හී ඉදිකිරීමට ව්‍යාපාරිකයන් කිහිප දෙනකු ඉදිරිපත්ව ඇත. ඒ පිළිබඳව සභාපතිවරයා සමග සාකච්ඦාකර ඇත.
තිස්ස, පරිපාලනමය වශයෙන් දහංගැටයකට හසු වුණා
තිස්ස අබේසේකර
බලයලත් ආයතනයක් ලෙස 1972 සිට පැවති ජාතික චිත්‍රපට සංස්ථාව 1999 දී පැවති චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය ගේ රජය විසින් යෝජිත ඩික්සන් නිලවීර වාර්තාව පදනම් කරමින් චිත්‍රපට බෙදාහැරීම විකෘතියකට ලක්කරන ලදී. එවකට සභාපති වූ තිස්ස අබේසේකර ඒ මොහොතේ පැනනැගී තිබූ ගැටලුවලට විසඳුමක් ලෙස මෙය ඉදිරිපත් කළ ද, සිදුවූයේ කබලෙන් ලිපට වැටීමයි. ඔහු සැබෑ ලෙස ම සිනමා විද්වතෙක් වූ අතර, ඔහු පරිපාලනමය වශයෙන් දහංගැටයකට හසුවී තිබිණි.
ඉහත තත්ත්වය පිළිබඳව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියට ද එතරම් අවබෝධයක් නොතිබූ බැව් පෙනේ. සෑම ජනාධිපතිවරයෙක් ම රට පාලනය කරන්නට බාරගත් මොහොතේ සිට ඇය හෝ ඔහු මුහුණ දෙන රටේ ප්‍රධාන ගැටලු සැලකිල්ලට ගත් පසු සිනමා අර්බුද හෝ ගැටලු පිළිබඳව ඇති අවධානය වගක් නැතිවෙයි; ඇත්ත එයයි.
කුමන තත්ත්වයක් යටතේ හෝ එකල මේ වැඩේ ස්ථාපිත කිරීම සඳහා එකදිගට ම මහන්සිවූවෝ කිහිපදෙනෙක් ද සිටිති. ඒ අතර සනත් ගුණතිලක ගේ නම විවිධ තැන්වල විවිධ අයුරින් ඉහළින් ම සඳහන්ව තිබේ. ඒ ගැන ඇතිවූ තත්ත්ව පිළිබඳව ඔහු පෞද්ගලිකව මා සමග ද කතාබහකර ඇත. මෙම කෙටි සටහනේ අරමුණ සනත් හරි ද, තිස්ස අබේසේකර හරි ද, චන්ද්‍රිකා ජනාධිපතිනිය හරි ද යන්න විමසා බැලීම නොවේ. නමුත් එදා පුද්ගලිකව හෝ පොකුරු පිටින් ගත් ඒ තීරණය වැරදි බව කීමටයි. ඇත්තටම ඒ තීරණය වැරදි ය; එහි නියම හැඩය පෙනෙන්නේ දැන් ය. ඒක අවුල් ජාලයක් ( මෙය කෙටි සටහනක් බැවින් අතීත තොරතුරු සියල්ල මෙහි සඳහන්කළ නොහැකියි, තොරතුරු නම් බොහෝමයි, කෙනෙකුට අවශ්‍යනම් සංවාදගතවිය හැකි ය)
කළු ජූලියේ බලපෑම

සිනමා ශාලා 300ක් පමණ තිබුණ රටේ 1983 කළු ජූලියේ දී ඒවා අළු දූවිලි බවට පත්ව 1988, 1989, 1990, 1991 වන විට සිනමා ශාලා 200 කට අඩුප්‍රමාණයක් දක්වා වැටී තිබිණි, පසුව රටේ අර්බුද කෙළින් ම බලපාන කර්මාන්තයක් ලෙස ප්‍රවාහනය අඩපන වීමෙන් රාත්‍රී දර්ශණ නොමැතිවීම, අසාර්ථක චිත්‍රපට නිර්මාණය කිරීම, ව්‍යාපාරිකයින් මෙම කර්මාන්තයෙන් ඉවත්වීම, සිනමාකරුවන්ව නොසලකා හැරීම, ඔවුන් රැකගන්නා හෝ උනන්දුකිරීම් ක්‍රමවේද නොමැතිවීම ඇතුළු තවත් බොහෝ කරුණුමත සිනමා කර්මාන්තය ඉතා සීඝ්‍රයෙන් පහතට වැටුණි. ඒවාට කළ යුතු නිවැරදි පැහැදිලි විසඳුම් වෙනුවට ඉහත සඳහන් 1999 දී මුදල් අමාත්‍යාංශය හරහා මහ බැංකු නිලධාරියකු මූලිකව කිහිප දෙනකු ගේ වුවමනාවට චිත්‍රපට බෙදාහැරීම විනාශ මුඛයටම රැගෙන ගියා එකී "ඩික්සන් නිලවීර" වාර්තාව ගැටලුවලට විසඳුම් ලෙස පෙනුනත් එය ප්‍රායෝගිකව ක්‍රියාකරනවිට එය කාගේ වුවමනාවකට සිදුවූවා දැයි ඉන් ටික කලටපසු පෙනෙන්නට පටන් ගත්තා.
වර්තමාන අර්බුදයේ ප්‍රධාන කොටස

චිත්‍රපට බෙදා හැරීම මණ්ඩල පහකට (5) බෙදුවා; හතරක් (4) ක් පුද්ගලික අංශයට; එකක් ( 1 ) චිත්‍රපට සංස්ථාවට. පුද්ගලික මණ්ඩල 4 කොහොමත් පුද්ගලික ය. ඒවා තනි හෝ සමූහ ව්‍යාපාරිකයන් ගේ ය. නමුත් චිත්‍රපට සංස්ථා මණ්ඩලය රජයේ නොවන ව්‍යාපාරිකයින් ගේ ශාලා මතින් ගොඩනැඟුණි. ගැටලුව පැන නැගුණේ එතැන ය. සංස්ථාවට තමන් ගේ ම සිනමා ශාලා නැත. චිත්‍රපට සංස්ථාව, තම බලයත් සමග මෙම ව්‍යාපාරය පිළිබඳව ඉහළින් සිට වැඩකරනවා වෙනුවට, එනම් සෑම දෙනාම නියාමනය කරමින් වැඩකරනවා වෙනුවට අනෙක් පුද්ගලික මණ්ඩල සමග තරග බිමට බැස තමන් ගේ ම නොවන සිනමාශාල ටිකක් අතැතිව මේ ව්‍යාපාරයේ ගැටෙන්න පටන් ගත්තේ ය. මේක දැන් ඇතිවී තිබෙන අර්බුදයේ ප්‍රධාන කොටසකි.
දැන්, සංස්ථාවට ද පුද්ගලික අංශය මෙන් ම දුවන චිත්‍රපට පස්සේ දිවිමට සිදුව තිබේ. එය, ඒ අයට හානියකි. නැතිනම් නඩත්තුව හෝ පඩිපත නොලැබෙන මට්ටමේ අදහසක් හැමෝගෙ ම හිතේ සටහන් වෙලා. ඔවුන්ට හැමදාම මහා භාණ්ඩාගරයෙන් ම නඩත්තුවෙන්න බැහැ. ඒක සාධාරණ හේතුවක්. ඇත්තට ම මේක සංස්ථාවට අටවපු උගුලක්. ඔවුන් දැන් එහි වදය විඳිමින් ඉන්නවා. නිදහසේ ජාතික සිනමාවක් වෙනුවෙන් වැඩකලයුතු පිරිස, තීන්දු තීරණ ඍජුව ගතයුතු පිරිස මේ හරහා සිරකොට හමාරයි.
පතිරාජ ගේ ඉරණම
ධර්මසේන පතිරාජ
එදා ධර්මසේන පතිරාජව ආරක්ෂා කළේ චිත්‍රපට සංස්ථාව. එදා රටේ ම සිනමාශාලාවල විධායකයා චිත්‍රපට සංස්ථාව, ආයතනය ගරු සරුයි, ගාම්භීරයි, ක්‍රමවේදයක් තිබුණා. අද වගේ නම් පතිරාජ වගේ සිනමාකරුවෙක් හොම්බෙන් යනවා. ඔහුටත් දුවන චිත්‍රපට ගහන්න බෑ. ලොකයේ එහෙම චිත්‍රපට ජාතියක් තියෙනවද කියලා මම නම් දන්නෙත් නෑ. එදත් පතිරාජ ගේ සිනමාවට ලොකු ප්‍රේක්ෂකාගාරයක් නෑ. ඔහු නම් කරන ලද BOX OFFICE ඩිරෙක්ටර් කෙනෙක් නෙමෙයි. නමුත් ඔහු ලංකාව බිහිකළ විශිෂ්ට සිනමාකරුවෙක්. ඔහුගේ චිත්‍රපටවලට අද වගේ ක්‍රමයක් එදා තිබුනනම් 1974 - 01 - 24 දා ප්‍රදර්ශනය කළ "අහස් ගව්වෙන්ම" ඔහු සිනමාවෙන් එළියට වැටෙනවා නියතයි. එහෙනම් " පතී " කෙනෙක් නැත. ලෙස්ටර් පීරිස්ගේ සිට බොහෝ දෙනෙක් රැකුණේ ඒ ක්‍රමවේද මත ය; ඒවා හේතු සහිත ය.
ඉහත සටහන තැබූයේ ඉතාම කෙටියෙන් එක් පරිජේදයක් පෙන්වීමට ය; ඇඟිල්ල ඒ දෙසට යොමු කිරීමට ය.
අදහස් සහ යෝජනා
කෙසේ හෝ අපේ යෝජනාව වුණේ සංස්ථාව මේ තරගකාරී බිමේ තවදුරටත් මේ විදිහට ම ඉන්නවා නම්, අඩුම වශයෙන් දිස්ත්‍රික්ක 25 ට සිනමා ශාලා 25ක්ව හෝ තමාගේ ම කියා තබාගතයුතු බවයි. එය අප යෝජනාකර තිබෙනවා. කලින් ආණ්ඩු කිහිපයකටත් කියා තිබෙනවා. නමුත් බොහෝ ආණ්ඩු උත්සාහ දැරුවේ, සහමුලින් ම මෙයින් ඉවත්වී, පුද්ගලික අංශයට ම පටවා මෙයින් ගැලවීමටයි.

වත්මන් සභාපතිවරයා මේ වැඩේට මැදිහත්වීම සතුටට කරුණකි. මේ තත්ත්වය ඉදිරියටම යා යුතු ය. මෙය සෙල්ලං වැඩක් නොවේ. වගකීම් සහගත වැඩකි. සංස්ථා නිලධාරීන් පිරිසක් ද මේ සඳහා උනන්දු බව දන්නේ ය. මේ පිළිබඳව ලබාදුන් ප්‍රචාරණයට අනුව පෙනුන ගැටලු කිහිපයක් ද පවතී. ඒ ගැන වැඩියෙන් සැලකිලිමත්වීම වඩාත් හොඳයැයි යෝජනා කරමි.
(1) ආසන 50 - 100 මිනි සිනමාශාලා සඳහා වන ප්‍රක්ෂේපනය පිළිබදව වූ අදහස කුමක්ද යනවග, දැනට ප්‍රමිතිගත මට්ටමේ 2K ප්‍රක්ෂේපණයක් ද, නොඑසේනම් ඊට අඩු තත්ත්වයක් ද යනවග, ඩී. බී. නිහාල්සිංහ ගේ යෝජනා සංස්ථාව සතුව ඇත.
(2) සිනමා ශාලාව කුඩා වුවත් එහි යම් ප්‍රමිතිගත තත්ත්වයක් රඳවා ගැනීම, විශේෂයෙන්ම තිරය, ශාලාව, ආසන ආදිය වඩා වැදගත් අංශ ලෙස සලකා කටයුතු කිරීම.
(3) පරිසර තත්ත්ව ද වඩාත් වැදගත් වෙයි. උදාහරණයක් ලෙස කටුබැද්ද MAXLITE සිනමාශාලාව පිහිටියයුතු පරිසරයක ඉදිකර තියෙනවා, එය ප්‍රේක්ෂකයාට යා හැකි, ආකර්ෂණීය තැනකි; පිරිස ගැවසෙන තැනකි; වින්දනීය තැනකි. සිනමාව එහෙම තමයි, මේ තත්ත්ව මිනි සිනමාශාලා ඉදිකිරීමේ දී ද අනුගමනය කලයුතු තත්වයකි.
මෙය හොඳ මැදිහත්වීමකි. දුෂ්කර වැඩක් වුව ද දේශිය සිනමාව වෙනුවෙන් මේ මොහොතේ කළ යුතු ම වැඩකි.

මොහාන් හෙට්ටිආරච්වි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
