සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ 5 කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සිව් වන තරගයද ජය ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ සමත් විය.
කෙසේ නමුත් පෙර තරගවලදී දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂාවල සැලකිය යුතු වෙනසක් මෙම තරගයේදී දැකගැනීමට හැකිවිය.
තිරුවානන්දපුරම්හිදී පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 222ක අසීරු ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.
මෙය ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු දෙකක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 221කි.
ස්මිත්‍රී මන්දනා පන්දු 48කදී ලකුණු 80ක් රැස් කළාය.
ෂෆාලි වර්මා පන්දු 46කදී ලකුණු 79යි.
පන්දු යැවීමේදී මල්ෂා ශෙහානි සහ නිමාෂා මීපගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තාය.
ජයග්‍රාහී ලකුණු 222ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 191ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් හසිනි පෙරේරා පන්දු 20කින් ලකුණු 33ක් හා චමරි අතපත්තු පන්දු 37කින් ලකුණු 52ක් රැස්කිරීමට සමත්වූහ.
ඊට අමතරව හර්ෂිතා සමරවික්‍රම පන්දු 13කින් ලකුණු 20ක්ද, නිලක්ෂිකා සිල්වා පන්දු 11කින් ලකුණු 23ක්ද රැස්කළහ.
දෙරට අතර පැවති මෙම සිව්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයද ලකුණු 30කින් ජය ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
තරග 5කින් යුත් තරගාවලිය තරග 4-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වනවිට පෙරමුණගෙන සිටියි.
පූර්ණ තරඟාවලි පරාජයකින් මිදීමට නම් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර හෙට පැවැත්වෙන තරඟය අනිවාර්යෙන්ම ජය ගත යුතු වේ.

