2019 වසරේ ජනාධිපතිවරණයට ටික කලකට පෙර ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් රිට් අයදුම්පතක් ගොනු කළ ප්‍රවීන සාහිත්‍යවේදියකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන ගාමිණී වියන්ගොඩ, විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම ගැනීමේ වයස වැඩිකිරීම සඳහා ගෙන එන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙත්සමක් ගොනු කර ඇත.
SC/SD/70/2026 අංක දරන මෙම පෙත්සම මගින් පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය යටතේ ජනමත විචාරණයක දී ජනතාව ගේ අනුමැතිය ලැබිය යුතු බවට තර්ක කරන අතර නීතිඥ සුරේන් ඥානරාජ් ගාමිණී වියන්ගොඩ වෙනුවෙන් අධිකරණයේ කරුණු දක්වනු ඇත.
සිංහල සාහිත්‍යයට කරන ලද දායකත්වය හේතුවෙන් වියන්ගොඩ පුළුල් ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතර විශේෂයෙන් ලතින් ඇමරිකානු සාහිත්‍යය සිංහල පාඨකයන්ට හඳුන්වා දීම සඳහා ඔහු කළ පුරෝගාමී දායකත්වය අවිවාදිත ය.
දහඅටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා තුන්වන වරටත් තරග කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ දැරූ උත්සාහයට විරුද්ධ ව, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස ‘පුරවැසි බලය’ ගොඩනැගීමට ඔහු මූලික වූ අතර 2015 ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් ද ‘පුරවැසි බලය’ සංවිධානය විශාල දායකත්වයක් දැක්වීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
