ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දක්වා පියාසර කළ ගුවන් යානයක ගොඩබැස්වීමේ ගියර සහිත කුටියේ සැඟවී මාරාන්තික ගමනක් ගිය 13 හැවිරිදි ඇෆ්ගනිස්තාන ජාතික පිරිමි දරුවකු නිරුපද්‍රිතව සිය ගමනාන්තයට ළඟා වීමේ විස්මයජනක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු ඇෆ්ගනිස්තානයේ කුන්ඩූස් නගරයේ සිට පැමිණි බව කියන එම දරුවා ‘කැම් එයාර්‘ ගුවන් සේවයට අයත් එම යානය නවදිල්ලි ගුවන්තොටුපොළට ගොඩ බැස්වීමෙන් පසු ධාවන පථයේ ඇවිද යමින් සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
කාබුල් නුවර ගුවන්තොටුපොළට රහසින් ඇතුළු වී මගීන් පිරිසක් සමඟ බස් රථයකින් යානය වෙත ගොස් එහිදී කිසිවකුගේ ඇස නොගැටී යානය පසුපසට ගොස් ගොඩබැස්වීමේ ගියර සහිත කුටියට ඇතුළු වූ බව ඔහු ආරක්ෂක නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ අවශ්‍යතාව වී ඇත්තේ ඉන්දියාවට නොව ඉරානයට යෑමට බවද සඳහන් කර තිබේ.
ඉහළ උපදෙස් මත ඔහු පැය කිහිපයක් රඳවා තබා ප්‍රශ්න කිරීමෙන් පසු නැවත එම ගුවන් යානයෙන්ම කාබුල් නුවරට පිටුවහල් කිරීමට ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගත් බව වාර්තා වේ.