සටහන :
ඉයන් අයික්මන්
බීබීසී පුවත්
විශ්ව රූ රැජිණ තරගයේ සත්කාරකත්වය දරන තායිලන්තයේ නිලධාරියෙකු මෙක්සිකෝ රූ රැජිණට ප්‍රසිද්ධියේ බැණ වැදීමෙන් පසු, තරගකාරියන් විශාල පිරිසක් එම අවස්ථාවේ පැවැත්වෙමින් තිබූ උත්සවයකින් ඉවත්ව ගොස් තිබේ.
ප්‍රධාන තරගාවලියට පෙර පැවති උත්සවයකදී, තායිලන්ත විශ්ව රූ රැජිණ තරගයේ අධ්‍යක්ෂ නවාත් ඉට්සරග්‍රීසිල්, ප්‍රවර්ධන ඇතුළත් අන්තර්ගතයන් පළ නොකිරීම සම්බන්ධයෙන් ෆැටීමා බොෂ්ට තරගකාරියන් රැසක් ඉදිරියේ බැන වැදිණි.
ඇය එයට විරෝධය පළ කරන විට, නවාත් ආරක්ෂක නිලධාරීන් අමතා ඇයට සහය දක්වන තරගකාරියන් නුසුදුස්සන් කරන බවට තර්ජනය කළේ ය. පසුව ෆැටීමා බොෂ් එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර තවත් කිහිප දෙනෙක් ඇයට සහය දක්වමින් පිටව ගියහ.
සජීවීව විකාශය කරන ලද සිද්ධියේ වීඩියෝව ඉන්ටර්නෙට් හරහා හුවමාරු විය. විශ්ව රූ රැජිණ සංවිධානය (MUO) නවාත්ගේ "ද්වේෂසහගත" හැසිරීම හෙළා දැක ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු ද සමාව අයැද සිටියේ ය.
සිය රටවල්වල පැවති ජාතික මට්ටමේ තරගවල ජයග්‍රාහිකාවන් වන විශ්ව රූ රැජිණ තරගකාරියන් අඟහරුවාදා [නොවැම්බර් 02] පැවති උත්සවයට සහභාගි වූයේ, ඔවුන්ගේ කර පටිවලින් සහ ගවුම්වලින් සැරසීමෙනි.
නවාත්, ෆැටීමාට තරවටු කරමින් දිගින් දිගට ම ඇයට කතා කිරීම නවත්වන ලෙස පවසමින් බැන වැදීමෙන් පසු කිහිප දෙනෙකු ඔහුට බැන වදින ආකාරය වීඩියෝවේ ඇසෙයි.
මෙක්සිකෝ රූ රැජිණට සහය දැක්වීම සඳහා බොහෝ දෙනෙකු සිය අසුන්වලින් නැගී සිටි අතර නවාත් මෙලෙස පවසයි: "මේ තරගය දිගට ම කරගෙන යන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් වාඩි වෙන්න. ඔයාලා එළියට බැස්සොත්, ඉතිරි ගැහැනු ළමයි දිගට ම ඉඳීවි."
එසේ තිබියදීත්, වීඩියෝවේ සිටින කාන්තාවන්ගෙන් බහුතරයක් අසුන්වලින් නැගී සිටින බවක් පෙනෙන්නට ඇති අතර, කිහිප දෙනෙක් දොර දෙසට ගමන් කරති.
අඟහරුවාදා පැවති උත්සවයෙන් ඉවත්ව යාමෙන් පසුව බොෂ් මාධ්‍යවලට පැවසුවේ, 60 හැවිරිදි විධායක නිලධාරියා "ගෞරවණීය නොවන ආකාරයෙන්" හැසිරුණු බව සහ ඔහු ඇය "මෝඩයෙකු" ලෙස හැඳින්වූ බව ය.
ඔහුගේ වචන වරදවා වටහාගෙන ඇති බවට පවසමින් නවාත් මේ සම්බන්ධයෙන් තර්ක කර තිබේ.
ඔහු විසින් 25 හැවිරිදි තරුණිය "මෝඩයෙකු" ලෙස හැඳින්වූ බවට බොහෝ දෙනෙකු වාර්තා තිබේ. නමුත් පසුව පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඇය "හානියක්" සිදු කළ බව තමා පවසන බව ය.
ඔහුගේ ක්‍රියාවන් විශ්ව රූ රැජිණ සංවිධානයේ දැඩි චෝදනාවකට තුඩු දුන් අතර, එම සංවිධානට තරගය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර විධායක නිලධාරීන් කණ්ඩායමක් යැවූහ.
නිකුත් කළ වීඩියෝ ප්‍රකාශනයක විශ්ව රූ රැජිණ සංවිධානයේ සභාපති රාවුල් රෝචා පැවසුවේ, නවාත් "සැබෑ සත්කාරකයෙකු වීමේ ඇත්ත තේරුම අමතක කර ඇති," බව ය.
තායි නිලධාරියා බොෂ්ට "නින්දා කර, අපහාස කර, ගෞරවයක් නොමැතිව සැලකු" බවත්, "අනාරක්ෂිත කාන්තාවක බිය ගැන්වීම සඳහා ආරක්ෂකයින් කැඳවීමේ බරපතළ අපයෝජනයක්" සිදු කළ බවත් ඔහු පැවසීය.
නවාත් රූ රැජිණ තරගයට සහභාගී වීම "හැකිතාක් දුරට" සීමා කරනු ලබන අතර, නැතහොත් සම්පූර්ණයෙන් ම ඉවත් කරනු ලබන බව රාවුල් පැවසූ අතර, විශ්ව රූ රැජිණ සංවිධානය ඔහුට එරෙහිව "නීතිමය ක්‍රියාමාර්ග" ගන්නා බව ද පැවසීය.
"මිස් යුනිවර්ස් කියන්නේ කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුන්ගේ හඬ ලොව පුරා ඇසීමට ඉඩ සලස්වන වේදිකාවක් බව මම අවධාරණය කිරීමට කැමතියි," රෝචා පැවසුවේ ය.

තායි ව්‍යාපාරිකයෙකු සහ මාධ්‍යවේදියෙකු වන නවාත් ඉට්සරග්‍රීසිල් මෙම සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කර තිබේ
අඟහරුවාදා උත්සවයෙන් ඉවත්ව ගිය අය අතර ඩෙන්මාර්කයේ වත්මන් විශ්ව රූ රැජිණ වික්ටෝරියා ක්යාර් තයල්විග් ද වූවා ය.
"මේක කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ දෙයක්," ඇය උත්සවයෙන් ඉවත්ව යාම ගැන පැවසුවා ය. "මෙහෙම නෙවෙයි දේවල් හසුරුවන්න ඕනේ. තවත් ගැහැනු ළමයෙකුට අපහාස කරන එක ඊටත් වඩා අගෞරවයක්... ඒ නිසා තමයි මම කෝට් එක අරගෙන එළියට බැහැලා ගියේ."
බොෂ් පසුව පැවති සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පැවසුවා ය: "මම මගේ රටට කියන්න කැමතියි, මම මගේ හඬ ඇහෙන්න සලස්වන්න බය නෑ කියලා. ඒක අන් කවරදාටත් වඩා ශක්තිමත්. මට අරමුණක් තියෙනවා. මට කියන්න දේවල් තියෙනවා."
"අපි ඉන්නේ 21 වන සියවසේ. මම හැඩ කරලා, විලාසිතා කරලා, ඇඳුම් මාරු කරලා ගන්න බෝනික්කෙක් නෙවෙයි," ඇය වැඩිදුරටත් පැවසුවා ය.
"මම මෙහි පැමිණියේ අරමුණු වෙනුවෙන් සටන් කරන සියලු ම කාන්තාවන් සහ සියලු ම ගැහැනු ළමයින් වෙනුවෙන් හඬක් නැගීමට වගේ ම, මම ඒ සඳහා සම්පූර්ණයෙන් ම කැපවෙන්න."
නවාත්ගේ වීඩියෝව තරගාවලියේ රසිකයින් කෝපයට පත් කර ඇති අතර, බොහෝ දෙනෙක් ඔහුගේ ක්‍රියාවන් දැඩි ලෙස විවේචනය කරති. එමෙන් ම ඔවුහු බොෂ්ගේ ප්‍රතිචාරයට ප්‍රශංසා කරති.
සමාජ මාධ්‍යයේ පළ කළ වීඩියෝවක නවාත් මෙලෙස පවසයි: "කාට හෝ නරකක්, අපහසුතාවක් හෝ බලපෑමක් දැනුණා නම්, මම හැමෝගෙන් ම සමාව අයදිනවා. විශේෂයෙන් පැමිණ සිටි ගැහැනු ළමුන් 75කට ආසන්න සංඛ්‍යාවෙන් ම මම සමාව ගන්නවා."
මතභේදය මධ්‍යයේ වුවඩද, විශ්ව රූ රැජිණ තරගාවලිය දිගට ම පැවති අතර, බදාදා [නොවැම්බර් 05] බැංකොක්හි පැවති පිළිගැනීමේ උත්සවයකට තරගකාරියෝ සහභාගී වූහ.
තරගාවලියේ ජයග්‍රාහිකාව නොවැම්බර් 21 වන දින නව විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පළඳිනු ඇත.
( උපුටා ගැනීම - බීබීසී සිංහල )

