දකුණු කොරියාවේ මගී නැව් අනතුරක්; කපිතාන් ජංගම දුරකතනයේ ප්‍රවෘත්ති බලලා

දකුණු කොරියාවේ මගී නැව් අනතුරක්; කපිතාන් ජංගම දුරකතනයේ ප්‍රවෘත්ති බලලා

දකුණු කොරියාවේ ඊයේ (19) සිදු වූ මගී නෞකා අනතුරක් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ.

සිද්ධිය සම්බන්ධයෙන් එහි කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩලයේ සිටි ඉන්දුනීසියානු නාවිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සුක්කානම භාරව සිටි ඔවුන් නෞකාවස්වයංක්‍රීය නියමු පාලනයෙන් සියතට ගැනීම ප්‍රමාද කළ බවට සැක කෙරේ.

කාර්ය බහුල මාර්ගයක පිහිටි නිරිතදිග මොක්පෝ වරාය වෙත යාත්‍රා කරමින් තිබූ මගී නෞකාව පාලනයෙන් ගිලිහී ජන ශුන්‍ය දිවයිනක් වෙත ඇදී ගොස් අනතුර සිදු විය.

ටොන් 26,545ක බරින් යුත් අනතුරට පත් නෞකාව, මගීන් 1,010 ක ධාරිතාවකින්, වෙනත් භාණ්ඩ සහ මෝටර් රථ ප්‍රවාහන පහසුකමින් ද යුක්තය.

අනතුරට පත් අවස්ථාවේ, එය ජෙජු දිවයිනේ සිට යාත්‍රා කරමින් පැවති බව, වෙරළාරක්ෂක නිලධාරීහු කියති. එහි ගමන් ගත් මගීන් 267 දෙනකු වෙරළාරක්ෂක භටයින් විසින් ආරක්ෂාකාරීව ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කපිතාන්වරයා සහ නාවික නිලධාරියා පරස්පර ප්‍රකාශ සිදු කරන බව විමර්ශන නිලධාරීහු කියා සිටිති. කෙසේ වුව, එය සාමූහික නොසැලකිලිමත් භාවය හේතුවෙන් සිදු වූ අනතුරක් බව, මූලික ව හඳුනා ඇතැයි, ඔවුහු පවසති.

අනතුර සිදුවන අවස්ථාවේ, තමා ජංගම දුරකතනයෙන් ප්‍රවෘත්ති නරඹමින් සිටි බව නෞකා කපිතාන් වරයා විසින් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ තිබේ. නාවිකයින් සතු ජංගම දුරකථන, නෞකාවේ ගමන් දත්ත සහ එහි නෞකා ගමන් පාලන සංනිවේදන සම්බන්ධ වෝහාරික පරීක්ෂණ සිදු කරන බව ද විමර්ශන නිලධාරීහු පවසති.

නෞකා මෙහෙයුම්කරු වන සීවර්ල්ඩ් (Seaworld) සමාගම අනතුර පිලිබඳ මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත.

අනතුරට පත් අවස්ථාවේ නෞකාව අදාළ මුහුදු මාර්ගයේ නාවුක සැතපුම් 22ක නියමිත වේගයෙන් යාත්‍රා කෙරෙමින් පැවති බව ද වාර්තා වේ. කලාපයේ පටු ප්‍රවේශ මාර්ග ඔස්සේ යාත්‍රා කෙරෙමින් පැවති මගී නෞකාව නිවැරදි මොහොතේ මග වෙනස් කර යාත්‍රා කිරීමට අපොහොසත් වීම ද අනතුරට හේතු ව ඇතැයි, විමර්ශන නිලධාරීහු පවසති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න