ඉකුත් දින කිහිපය තුළ ආන්තික කාලගුණය හේතුවෙන් බලපෑම් එල්ල වූයේ ශ්‍රී ලංකාව පමණක් නොවේ.
ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව ද එහි ගොදුරු බවට පත් ව ඇත.
දිට්වා සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකාවට ද සෙන්යාර් සුළි කුණාටුව නිසා ඉන්දුනීසියාව, මැලේසියාව සහ තායිලන්තය ද කෝටෝ සුළි කුණාටුව නිසා වියට්නාමයට සහ පිලිපීනයට ද බලපෑම් එල්ල විය.
ඉන්දුනීසියාවේ සිටින බීබීසී වාර්තාකරුවන් සඳහන් කළේ, එරට ඇති වූ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් පුද්ගලයින් 440ට අධික පිරිසක් මිය ගොස් ඇති අතර මාර්ග සහ පාලම්වලට සිදුව ඇති හානි හේතුවෙන් මුදා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව යි.
තායිලන්තයේ දකුණු ප්‍රදේශයේ ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාකරුවන් සඳහන් කරයි.
මෙම කුණාටු ඇති වීමට හේතුව තේරුම් ගැනීමට බීබීසී ජ්‍යෙෂ්ඨ වාර්තාකරු ශ්රුති මෙනන් එක්සත් රාජධානියේ රීඩින්ග් විශ්වවිද්‍යාලයේ කාලගුණ විද්‍යාඥයෙකු වන ආචාර්ය අක්ෂේ ඩෝරස් ගෙන් කළ විමසීමකදී මෙම කුණාටු ත්‍රිත්වය එකවර ඇති වීම අසාමාන්‍ය ලෙස පෙනුණත් කාලය සම්බන්ධයෙන් ගත් කළ බෙංගාල බොක්ක සහ බටහිර උතුරු පැසිෆික් කලාපය යන දෙකට ම එය එසේ නොවන බව සඳහන් කර ඇත.
නමුත් කැපී පෙනෙන දෙය නම්, මෙම පද්ධති තුන ම සාමාන්‍යයෙන් බලවත් කුණාටු ජනනය කරනු ඇතැයි අපේක්ෂා නොකරන තත්ත්වයන් යටතේ නිර්මාණය වීම යැයි ඔහු සඳහන් කරයි.
මෙවැනි කුණාටු නිතර ඇති නොවන නමුත්, දේශගුණික විපර්යාස හේතුවෙන් සාගර උණුසුම් වීම නිසා ඒවා වඩාත් බලවත් වීමේ අවස්ථා වැඩි වන බව ආචාර්ය ඩෝරස් අවධාරණය කරයි.
(උපුටා ගැනීම - බීබීසී සිංහල )

